සාග් තරග බිමේ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සාග් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසෙති

by Staff writer 02-12-2019 | 10:18 AM

COLOMBO ( News 1st ) - නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් තරග බිමට පිවිසෙති.

බැඩ්මින්ටන් තරග ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමට පිවිසෙන අතර පාපන්දු තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද මාලදිවයින සමගින් තරග වැදීමට නියමිත ය. එමෙන්ම ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා අද තරග කරයි. ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයින් බංග්ලාදේශය සමග හා වොලිබෝල් ක්‍රීඩිකාවන් මාලදිවයින සමග තරග කිරීමට නියමිත ය. මේ අතර ටෙනිස් , ටේබල් ටෙනිස් , ටයිකොන්ඩෝ හා තුන් ප්‍රයාම තරග ද අද ආරම්භ වේ. ක්‍රීඩා ඉසව් 28ක් නියෝජනය කරමින් 2000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන 10 වැනිදා අවසන් වීමට නියමිත ය.