UPDATE: පාර්ලිමේන්තු සැසිවාරය අවසන්

UPDATE: පාර්ලිමේන්තු සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

by Staff writer 02-12-2019 | 8:27 PM
UPDATE:- 10.00PM 8වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමේ ගැසට් නිවේදනය මීට ටිකවේලාවකට පෙර නිකුත් කෙරිණි. ඒ, අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවෙන්නේ 2020 ජනවාරි 03වැනිදායි. පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, සහ අධීක්ෂණ කාරක සභා සහ පාර්ලාමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කාරක සභා අහෝසි වේ. ඒ අනුව රටේම අවධානයට ලක්වූ පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවද අහෝසි වේ. මේ අතර බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට කෝප් කමිටු සාමාජිකයින් කැඳවා තිබුණි. මීට පෙර මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් යුත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ද මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙනි.

---------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) 8.27 PM - පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා වන ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට ලැබී තිබේ.

මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු නිවේදනය මීට ටික වේලාවකට පෙර තමන් වෙත ලැබුණු බව ඇය සඳහන් කළා ය.