පාකිස්ථානයේ සංචාරයකට ජනපතිට ඇරයුම්...

පාකිස්ථාන විදේශ ඇමති සහ ජනපති අතර හමුවක්

by Staff writer 02-12-2019 | 7:44 PM

COLOMBO (News 1st) - පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මෙරට නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි පාකිස්ථානු විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තනගේ මැදිරියේදී පිළිගත්තේ විදේශ කටයුතු අමාත්‍ය නිලධාරින් විසිනි. එහිදී ඔහු සඳහන් කළේ, තමන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ ලිපියක් ද රැගෙන දිවයිනට පැමිණි බවයි. අද උදෑසන පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පළමුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පැවැත්විය. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. අනතුරුව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිණි. දැනටමත් දෙරට අතර ඇති සමීප මිත්‍රශිලි සබඳතාව පුළුල් කර ගනිමින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පාකිස්ථානයේ බලාපොරොත්තුව බව මෙහිදී පාකිස්ථානු විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. "ඔබතුමා චාරිකාවක් සඳහා පාකිස්ථානයට එනතුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා" යැයි ද විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ, මූල්‍යමය ආධාර සොයනු වෙනුවට සිය වෑයම ඵලදායී පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම බවයි. පාකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදී උදාහරණයක් ලෙස දක්වා තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම පිටු දැකීම සඳහා පාකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද මෙහිදී ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යවරයාට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.