අගමැතිගේ ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාක පාර්ලිමේන්තුව එරට අගමැතිගේ ඉල්ලා අස්වීම අනුමත කරයි

by Staff writer 02-12-2019 | 10:20 AM
News 1st -  ඉරාක පාර්ලිමේන්තුව එරට අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මාදිගේ ඉල්ලා අස්වීම අනුමත කර තිබේ. ඉරාක පාර්ලිමේන්තුවේ කතානායකවරයා සඳහන් කළේ, ජනාධිපති බර්හාම් සාලේට නව අග්‍රාමාත්‍යවරයකු නම් කිරීමට සිදුවනු ඇති බවයි . ඉරාකයේ සති ගණනක් පුරා පැවති ජනතා විරෝධතාවලින් අනතුරුව අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා අස් විය. ඉකුත් ඔක්තෝබර් මස ඇරඹි මෙම විරෝධතා හේතු‍වෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 400 කි. මේ අතර ශුද්ධවූ ෆ්‍රැන්සිස් පියතුමන් ඉරාකයේ ආරක්ෂක අංශ විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රචණ්ඩ පිළිවෙත විවේචනය කළේ ය . ඉරාක විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවන්නේ, දූෂණය සහ විරැකියාව අවසන් කර මහජන සේවා වැඩිදියුණු කරන ලෙස ඉල්ලා සිටිමින් ය. මේ අතර මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසප් මස්කට් ලබන වසරේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය. රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, ලබන වසරේ ජනවාරි 12 වැනි දින නව අගමැතිවරයකු තෝරාගන්නා ලෙස එරට පාලක කම්කරු පක්ෂයෙන් ඉල්ලා සිටින බවයි . ඩැෆ්නි කැරුවානා ගලීසියා නැමති ප්‍රමුඛ පෙලේ විමර්ෂණ මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙන පසුබිමකදී මෝල්ටා අගමැති ධූරයෙන් ඉවත්විය යුතු බව පවසමින් එරට පුද්ගලයන් විරෝධතාවල නිරත විය. එම මාධ්‍යවේදිනියගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළේ, ඉකුත් වසර දෙක තුළ මෝල්ටාවේ දූෂිත දේශපාලනඥයන් ඉවත් කිරීමට අපොහොසත් වූ බැවින් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්විය යුතු බවයි . 2017 වසරේදී මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඇය මිය යනවිට මෝල්ටාවේ ව්‍යාපාරිකයන් සහ දේශපාලන ප්‍රභලයන් ගේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ඇය විමර්ෂණය කරමින් සිටි බව සඳහන් වේ.