මහ වැස්සෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න - ජනපති

by Staff writer 02-12-2019 | 12:53 PM

COLOMBO (News 1st): අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වයන්හිදී මහජනතාවගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, ආපදා අවදානමට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් ක්ෂණික පියවර ගැනීමට, අදාළ සියලු නිලධාරින්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව ය‍. මෙම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ද කටයුතු සලසා ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.