සා/පෙළ විභාගය අදින් ඇරඹේ

සා/පෙළ විභාගය අදින් ඇරඹේ

by Staff writer 02-12-2019 | 7:40 AM

COLOMBO ( News 1st ) - 2019 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ලබන 12 වැනිදා විභාගය අවසන් වීමට නියමිත අතර මෙවර විභාගය සඳහා සාමාන්‍ය පෙළ ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන බවයි. විභාගය සඳහා පැය භාගයකට පෙර විභාග ශාලාව වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ට දැනුම් දෙයි. ප්‍රවේශ පත්‍රය මෙන්ම වලංගු හැඳුනුම්පත ද අනිවාර්යයෙන් රැගෙන එන ලෙස ද ඔහු සිසුන්ට දැනුම් දුන්නේ ය. එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, විභාග ශාලාවට ඉලෙක්ට්‍රෝනික උපකරණ මෙන්ම කෙටි සටහන්ද රැගෙන ඒම සුදුසු නොවන බවයි. මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අයැදුම්කරුවෙකුට යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි. ආපදා සහිත ප්‍රදේශවල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු අදියර 2ක් යටතේ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ දෙසැම්බර් 24 වැනිදා සිට ජනවාරි දෙවැනි දක්වා පළමු අදියරද, ජනවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දෙවැනි අදියරද ක්‍රියාත්මක බවයි. පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84 ස්ථාපිත කරනු ලබන ඇගැයීම් මධ්‍යස්ථාන 108 කදී සිදුකිරීමට නියමිතව තිබේ. එම පාසල් 84 න් 37 ක් ජනවාරි දෙවැනිදා විවෘත කෙරෙන අතර ඉතිරි පාසල් 47 නව පාසල් වාරය සඳහා විවෘත කෙරෙන්නේ ජනවාරි තුන්වැනිදා ය.