2/3 බලය ආවොත් 19 ඉවතට

2/3 බලය ආවොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට සූදානම් - ජනපති

by Staff writer 01-12-2019 | 5:04 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. 'ද හින්දු' පුවත්පතේ කර්තෘ සුහාසිනි හයිඩර් මහත්මියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් බවයි. බලය බෙදා හැරීම පිළිබඳව හෝ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි ඇය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, 13 වන ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රමයේම කොටසක් බවයි. එහි ඇතැම් කරුණු ක්‍රියාත්මක බව පැවසු ජනාධිපතිවරයා එහි එන පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගතහැකි වෙනත් ක්‍රියා මාර්ග ගැන තමන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවත් පවසා තිබේ. දමිළ ජනතාවට යහපත් ජිවිතයක් ලබාදීම පිළිබඳව සිංහල ජනතාවගේ ද කිසිඳු විරෝධයක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් තමන් ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන තවත් වසර 05කින් විනිශ්චයක එළැඹීමට සැමට අවස්ථාව උදා වන බවයි. සුදු වෑන් රථවලින් පැමිණ පැහැරගෙන යාම් සහ මාධ්‍යවේදීන් මර්ධනය කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂ මහතා විමසා ඇත්තේ, පසුගිය රජය තමන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් චෝදනා ගොනු නොකළේ මන්ද යන්නයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ ඇති වැරදි වැටහීම් වළක්වා ගැනීම සඳහා අවංකව සහ මුලිකත්වය ගෙන තමන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. චීන ආයෝජනයන්ට විකල්පයක් ලෙස ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල්වලට ශ්‍රී ලංකාවේ වැඩි ආයෝජනයන් සිදුකළ හැකි බව රාජපක්ෂ මහතා 'ද හින්දු' පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ සඳහන් වේ. චීනය හා පකිස්ථානය සමග ශ්‍රී ලංකාවට ඇති සබඳතා සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ට සැකයක් හෝ ගැටළුවක් ඇති කරගත යුතු නැතැයි ද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. උපුටා ගැනීම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය:-
ඉන්දියාවට ශ්‍රී ලංකා - චීන ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ වගේම ඔබ ආරක්ෂක ලේකම් සමයේ චීන සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණිම පිළිබඳව ගැටළුවක් තිබුණා. ඔබ ජනාධිපති විදියට මේ ගැන සංවේදී වෙනවාද.?
ජනාධිපතිතුමාගේ පිළිතුර:-
අපි ඒ කාලෙත් ඒවාට සංවේදී. චීන සබ්මැරීන ලංකාවේ ගාල් කරන්න අවසර ඉල්ලුවාම නිලධාරින් හිතුවේ මේක සාමාන්‍ය පැමිණීමක් කියලා ඒක අනුමත කළා. ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් ඔහුගේ පොතේ ලියා තිබෙනවා ගෝඨාභය ඉන්දියාවට එරෙහිව කිසිවක් නොකරන බව පැවසූ බවත්, එය එලෙසින්ම ආරක්ෂා කළ බවත්.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය:-
වරාය සංවර්ධනය සහ ත්‍රීකුණාමලයේ ඉන්ධන ගබඩා සංකිර්ණය සම්බන්ධයෙන් 2017 වසරේදී ඉන්දියාව සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ජනාධිපතිතුමාගේ පිළිතුර:-
අපට යම් යම් ක්‍රමවේදයන් වෙනස් කළ යුතු ව්‍යාපෘති කිහිපයක් තිබෙනවා. මම තවම සියලු ව්‍යාපෘති විස්තරාත්මකව අධ්‍යයනය කරලා නැහැ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරට සාකච්ජා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට වැදගත් වන සියලුම ව්‍යාපෘති කඩිනම් කරන බවට මම පොරොන්දු වෙනවා.
උපුටා ගැනීම අවසන් එමෙන්ම හෝටලයක් හෝ පර්යන්තයක් බදු දෙන ආකාරයට හම්බන්තොට වැනි උපායමාර්ගිකව වැදගත්කමකින් යුත් වරායක් බදුදීම අනුමත නොකරන බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බව හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. පසුගිය රජය විසින් 99 වසරක බද්දක් සඳහා හම්බන්තොට වරාය බදුදීම ගැන අනාගත පරපුර කවදා හෝ දිනයක ශාප කරනු ඇති බවත් තම රජය එය වැළැක්වීමට මැදිහත් වන බවත් ජනාධිපතිවරයා හින්දු පුවත්පත් හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.