වලපනේ නාය යෑමෙන් 3ක් මරුට

වලපනේ නාය යෑම: මියගිය ගණන 3 දක්වා ඉහළට

by Staff writer 01-12-2019 | 10:49 AM

COLOMBO (News 1st) - නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අතර ගැහැණු ළමයෙකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවයි. ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වලපනේ රෝහලට රැගෙන ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, නිවසේ සිව්දෙනෙකු පදිංචිව සිට ඇති බවයි. අතුරුදන් වූ අනෙක් පුද්ගලයාගේ සිරුර සොයා පොලීසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. ඊයේ රාත්‍රි 7.00 ට පමණ පස්කන්ද නිවස මතට කඩා වැටී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දෙන්නේ, පවතින වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීම් සහ නාය යෑම් ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.