හදිසි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් නැවත සක්‍රිය කිරීමේ උත්සාහයක්

by Staff writer 30-11-2019 | 7:10 PM

COLOMBO (News 1st) - මීට පෙර ප්‍රතික්ෂේප වූ හදිසි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ගණනාවක් නැවත සක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය උත්සාහ දරන බවට ලංකා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ මෙගාවොට් 800 ක ධාරිතාවයක් විදුලි නැව්වලින් මිලදී ගැනීම සඳහා විදුලි හිඟයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ලංවිම විසින් සපයා ඇති බවයි. පසුගිය නොවැම්බර් 14 වැනි දින විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති රඛිත ජයවර්ධන මහතාගේ අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියක සඳහන් වන්නේ, 2020 වර්ෂයේදී විදුලි හිඟයක් ඇතිවන බවයි. එම විදුලි හිඟයට මුහුණදීම සඳහා මෙගාවොට් 800 ක ධාරිතාවක් කෙටි කාලීන පදනම මත මිලදී ගතයුතු බව සඳහන් ය. ඒ අතර පහත සඳහන් යෝජනා ඇතුළත් වේ. 01 - ගාලු වරායෙන් සම්බන්ධ කරන මෙගාවොට් 200 ක විදුලි නැවකින් මිලදී ගැනීමේ යෝජනාව. 02 - කොළඹ වරායෙන් සම්බන්ධ කරන විදුලි නැවකින් මෙගාවොට් 300ක් මිලදී ගැනීම මාස 30 කාලයක් සඳහා. 03 - මාස 06 සිට අවුරුද්දක කාලයක් සඳහා මෙගාවොට් 200ක් මිලදී ගැනීම. 04 - හම්බන්තොට වරායෙන් සම්බන්ධ කරන විදුලි නැවකින් මෙගාවොට් 100ක් මාස 30ක් සඳහා මිලදී ගැනීම. මේ අතරින් පළමු දෙවන සහ තුන්වන යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසමෙන් ප්‍රතික්ෂේප වී ඇති බව ද ලංවිම සභාපති අමාත්‍යංශ ලේකම් වෙත යැවූ ලිපියේ සඳහන්. එම යෝජනාවලට මහජන උපයෝගී කොමිසමේ අනුමැතිය ලබා නොදීම සමබන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇති බව ද ලිපියේ සඳහන් විය. කෙසේ වෙතත් පසුගිය වසර තුළම සිය දිගු කාලීන ජනන සැළැස්මේ ඇතුළත් කිසිදු බලාගාරයක් ඉදිකර නොමැත. කෙටි කාලීන පදනම මත විදුලිය මිලදී ගැනීම සඳහා ව්‍යාජ විදුලි හිඟයක් පෙන්වීමට ඉංජිනේරු පිරිසක් ද සහය පළ කර ඇති බවයි. මේ වසරේදී විදුලිය බල මණ්ඩලයේ පාඩුව බිලියන 130 ක් ඉක්මවනු ඇති බව විගණකාධිපති මතයයි.