ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය:තොරතුරු CIDයට

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට අදාළව එම කාර්යාලය සතු තොරතුරු CIDයට

by Staff writer 30-11-2019 | 9:54 AM

COLOMBO ( News 1st ) - ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට අදාළව එරට තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විමර්ශනයට අදාළ වැඩිදුර තොරතුරු ලබා දෙන්නැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්විට්සර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන මෙම විමර්ශනය සඳහා සහාය වීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පැහැර ගැනීම සිදු කළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින්, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා ඇති බවයි. නමුත් එය විමර්ශකයින් නොමග යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.