ලබා දුන් ජන වරමට පිටු පාන්න එපා - සජිත් ප්‍රේමදාස

ලබා දුන් ජන වරමට පිටු පාන්න එපා - සජිත් ප්‍රේමදාස ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 30-11-2019 | 11:56 AM

COLOMBO ( News 1st ) - ලබා දුන් ජන වරමට පිටු නොපා කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරයි.

කරුණු 03ක් පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධි සන්සුන් සමාජය බොහෝ සෙයින් භීතියට පත් කිරී මට හේතුවී ඇති බවයි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක පැහැරගෙන යෑමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කලු පැල්ලමක් මෙන්ම ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අපේ රට කෙරෙහි එල්ල වන්නක් බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ, කිර්තිමත්ම සහ දක්ෂ පොලිස් නිලධාරින් විශාල පිරිසකට එරෙහිව පළි ගැනීමේ රාජ්‍ය හස්තය එල්ල වී ඇති බවයි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් වෙත ද දැනටමත් පීඩන එල්ල වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය දිනාදුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත් , තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් ලෙසයි. රට සුරක්ෂිත කිරීම , පළිගැනීමට තිතතැබීම , ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ පොරොන්දුව මත ජනතාව ලබාදුන් ජනවරම පලුදු වන ලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද එම නිවේදනයේ සඳහන් වේ. අපක්ෂපාති, නීතිගරුක නිලධාරින් , දේශපාලන දඩයමට ලක් කිරීමත් , මාධ්‍යවේදීන් සහ ආයතනවල නිදහසට සීමා පැනවීමත් සිහිපත් කරන්නේ 2015ට පෙර මෙරට තිබූ අන්ධකාර සමය බව සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසයි. මෙම කණගාටුදායක තත්ත්වය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අවධානය යොමු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී. මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ, පොරොන්දු වූ නිදහස් සාධාරණ රට බිහිකරන ලෙසත්, ඉහත සඳහන් කරන ලද සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හා අනෙකාගෙන් පලිගැනීමේ ක්‍රියාවලියට රාජ්‍ය තන්ත්‍රිය යොමු නොකරන ලෙසයි.