ජනපතිගේ පළමු නිල සංචාරය සාර්ථකව අවසන්...

රාජ්‍යතාන්ත්‍රික වටිනාකම් රැසක් එකතු කරමින් ජනාධිපතිගේ ඉන්දීය සංචාරය සාර්ථකව අවසන්...

by Staff writer 30-11-2019 | 7:16 PM

COLOMBO (News 1st) - දෙදින ඉන්දීය නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරනු ඇතැයි ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ රාත්‍රියේ රාෂ්ට්‍රපති භවන්හීදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයින් ද එක් ව සිටියහ. එහිදී ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇති බවට ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙහිදී අදහස් දැක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරට අතර ඓතිහාසික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ, ආර්ථික, සමාජයිය සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පවසා තිබේ. දෙරටේ ජනතාවගේ ජන ජීවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ ඇති අවශ්‍යතාව රාජ්‍ය නායකයින් දෙපළගේ සකාච්ඡාවට බඳුන් වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡයා රූපයක් පිරිනැමුවේ ය. ඒ ඔවුන් ඊයේ හයිඩ්‍රාබාද්හිදී හමු වූ අවස්ථාවේදීයි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ සේවය කරන සමයේ ඉන්දියාවේ පුහුණුවකට පැමිණි අවස්ථාවේ ලබා ගත් ඡායා රූපයකි. එම ඡායාරූපයේ ඉන්දීය හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය වී. කේ. සිං සහ නයිජීරියානූ ජනාධිපතිවරයා ද පෙනී සිටියි. තවද හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව බලන අවස්ථාවේ එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරෙකු අද ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතාට මුණ ගැසී ඇත. ඒ, ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී. කේ. සිං මහතායි. මෙම අවස්ථාවට මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ විශ්‍රාමිකව සිටින හමුදා නිලධාරීන් 15 දෙනෛකු පමණ එක් ව සිටියහ.