වැසි හේතුවෙන් මඩකලපුවේ පුද්ගලයින් 1700 කට පීඩා

උතුරු, උතුරුමැද ඇතුළු පළාත් කිහිපයකට තද වැසි...

by Staff writer 30-11-2019 | 3:56 PM

COLOMBO (News 1st) - උතුරු, උතුරුමැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. අධික වැසි හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්දාරමලෙයි, සිත්තණ්ඩි, සන්දවේලි ඇතුළු ගම්මාන රැසක් ජලයෙන් යට විය. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදු ව ඇති බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීම මගින් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1700 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඩකලපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පවුල් 76 ක පුද්ගලයින් 258 දෙනෙකු සහන කඳවුරු දෙකක රඳවා ඇති බවයි.