"සුරක්ෂා රක්ෂණය අහෝසි කරන්නේ නැහැ" - අධ්‍යාපන ඇමති සහතික වෙයි

by Staff writer 29-11-2019 | 7:33 PM

COLOMBO (News 1st) - සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය දිගටම පවත්වාගෙන යන බවට රජය අද සහතික විය.

රංජිත් සියඹලාපිටිය මහතා අද බත්තරමුල්ල ඉසුරුපායේදී අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කරමින් සිසු සුබසාධන වැඩපිළිවෙළ පැහැදිලි කළේ ය. අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
පාසල් අරඹලා සති දෙකක් ඇතුළත මේ දරුවන්ට පාසලටම කිසිදු තදබදයක් ඇති නොවන ආකාරයට නිල ඇඳුම සහ මේ සපත්තුවල වවුචර් පත් ඔවුන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද පොඩ්ඩක් කතාබහට ලක් වුණු කාරණාවක් තමයි මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය. ඒක අපි කිසිසේත් නවත්වන්නෙ නෑ. කවුරු කරන්න ආවත් හොඳ වැඩක්. දරුවන්ට එයින් ආරක්ෂාවක් සැලසෙනවා. ඒ නිසා සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඉදිරියට එලෙසම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සුරක්ෂා රක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට තීරණය කර නොමැති බවයි. එම ව්‍යාපෘතිය මෑත කාලීන ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා පැවසීය. ඔහු සඳහන් කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ දුර්වලකම් මගහැර උපරිම ප්‍රතිලාභ හිමි වනසේ ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කර ඇති බවයි. දරුවන් රටක අනාගතයයි. දරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම අප ද අගය කරන කරුණකි. නමුත් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රශ්නය වූයේ එය නොවේ. දරුවන් ආරක්ෂා කරන මුවාවෙන් මහජන මුදල් මිලියන ගණනින් අයථා ලෙස පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු අතට පත්වීමයි. අපි මේ අක්‍රමිකතා දිගින් දිගටම අනාවරණය කළෙමු. දරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක විය යුතු අතරම ඒ මුවාවෙන් සිදු වූ දූෂිත ගනුදෙනු ගැන විමර්ශනය කර වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමද රටේ ජනතාවගේ අපේක්ෂාවයි.