මහින්ද දේශප්‍රිය ධුරයෙන් ඉවත්වීමට ඉල්ලීමක් කරයි

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වීම සඳහා ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

by Staff writer 29-11-2019 | 2:35 PM

COLOMBO (News 1st): මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපතිතුමා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කතානායකවරයා වෙත දැනුම් දුන් බව කතානායක කාර්යාලය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස එම ඉල්ලීම පිළිබඳ ප්‍රතිචාර දැක්වු කතානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී සිය ධුරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයම එහි කටයුතු කිරීම සුදුසු බව ය. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටු කළ විශිෂ්ට කාර්යය භාරය ද කතානායකවරයා මෙහිදී ඇගයීමට ලක්කර තිබේ. මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහාත්, ඉදිරියේදී එළැඹෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත්, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බව කතානායකවරයා සඳහන් කළේ යැයි කතානායක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.