මැතිව්ස් සහ චන්දිමාල් යළි කැඳවයි

පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ චන්දිමාල් කැඳවයි

by Staff writer 29-11-2019 | 7:39 PM

COLOMBO (News 1st): පකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවත කැඳවමින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරිණි.

ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත් ය. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග රාවල්පින්ඩි සහ කරච්චි හී දී පැවැත්වීමට නියමිත ය. ඒ, සඳහා නම් කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් ය. ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය නම් කළ සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වේ, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් එම සංචිතය සඳහා නම් කළ සෙසු ක්‍රීඩකයින් වේ. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වනදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 වැනිදා ආරම්භ වීමට නියමිත ය. ලාහෝර් ප්‍රහාරයෙන් පසු පකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම ද විශේෂත්වයකි.