ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති සහ එරට ජනපති හමුවෙයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති සහ එරට ජනපති හමුවෙයි

by Staff writer 29-11-2019 | 1:56 PM

COLOMBO (News 1st): ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් හමුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිතුමා අතර හමුව නවදිල්ල නුවර පිහිටි හයිඩ්‍රාබාද් නිවසේදී සිදුවූ බව ය. මෙම හමුව පිළිබදව ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ශ්‍රි ලංකා ජනාධිපතිතුමා ලෙස සිදුකළ ප්‍රථම විදෙස් සංචාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බව ය. ඔහුගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවයේ සංකේතයක් වන අතර එය බැඳීම් ශක්තිමක් කිරීමට හා සහයෝගිතාව බලගැන්වීමට උපකාරී වනු ඇති බවද නරේන්ද්‍ර මෝදි මහතාගේ ට්විටර් පණිවඩුයේ වැඩි දුරටත් දැක්වේ. මේ අතර ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර හමුව සිදුවුණේ ඉන්දිය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන්හිදී ය. එහිදී ජනාධිපතිතුමා පිළිගැනීමේ නිල උත්සවය ද පැවති එය හමුදා උත්තමාචාරයකින් ද සමන්විත විය. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියහ.