ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

කර්තෘ Staff writer

29 Nov, 2019 | 7:01 pm

COLOMBO (News 1st) – වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ, තව දුරටත් ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ලසිත පද්බේරීය,

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත නෙවෙනස්ව පවත්වා දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යාමට තීරණය කළා. ඒ අනුව නීතිය තැම්පතු පහසුකම් අනුපාතය සහ ණය පහසුකම් අනුපාතය 7% සහ 8% මට්ටමේම පවත්වාගේන යාමට තීරණය කළා. මේ තීරණයට එළඹීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශීය මෙන්ම ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවනතාවන් හා අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවනතාවන් සලකා බැලුවා. ‍

ආර්ථිකය වර්ධනය පන ගැන්වීමේ අරමුනින් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ හෙළීම හා සංචිත අනුපාතය පහළ හෙළීම ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපත පහළ යා යුතු ක්‍රියාමාර්ග දිගින් දිගටම අනුගමනය කර තිබේ.

එහෙත් ඊට සාපේක්ෂව වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යාම සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වූයේ නැත.

ව්‍යපාරික වෘත්තීයවේදී පෙරමුනේ නායක අජිත් වත්තුරුහේවා,

පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්වන අප බැරෑරුම් කාල පරිච්ඡෙදයකට මුහුණ දුන්නා තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැරුව බොහෝ ව්‍යාපාර කඩන් වැටුනා. බොහෝ ව්‍යාපාරිකයන් බොහෝ ව්‍යාපාරික ස්ථාන අඩු මුදලට විකුණලා පිට රට පදිංචියට ගියා. ඒ වගේම බොහෝ සාර්ථක ව්‍යාපාරිකයන් ණය ආසාදු ලේඛනයට අතුළත් වුණා. නොයෙකුත් නොයෙකුත් බදු වැට් බද්ද ජාතිය ගොඩනැගීමේ බද්ද ආර්ථීක සේවා බද්ද එක එක බදු ව්‍යාපාරිකයන් මත පැටෙව්වා ඒ බදු බර අනියම් ආකාරයෙන් ලංකාවේ පාරිභෝගික ජනතාව මත යනකොට මුදල් සංසරණය අඩුවෙලා පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව අඩු වුණා. ඒ තුළින් ව්‍යාපාරවල ආදායම එන්න එන්නම පහත බැස්සා. ඒ නිසාම තවත් විදිහකින් කියනවා නම් දේශීය කර්මාන්තකරුවන්නට අනෙකුත් තරඟකාරි නිෂ්පාදන සමග පිටරටින් ගෙන්වන තරඟ කරන්න බැරි තත්ත්වයක් උදා වුණා.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති සුනිල් ලියනාරච්චි,

මේ වෙනකොට ගොඩාක් බැංකු ගිණුම් අක්‍රිය වෙලා අසාදු ලේඛන ගතවෙලා තියෙන්නේ ගොඩාක් ඉදිකිරීම් සමාගම් මම රජයෙන් ඉල්ලීමට කැමතියි මාස 06 ක් වැනි කාලයක් තුළ ඉතාම සහනශිලී ක්‍රමවේදයක් යටතේ මුල්‍ය ආයතන සමග සාකච්ජා කරලා යම් සහන ග්‍රෙස් පිරියඩ් එකක් යටතේ සාධාරණ පොලියකට ණය මුදලක් ලබාදිය යුතුයි මේ ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා.

ණය සහන ක්‍රියාවළියක් ගැන මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් අවධානය යොමුකර ඇති අතර ඊයේ බැංකු විධායක නිලධාරීන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ එහිදී එකඟතාවන් කිහිපයකට පැමිණි බවයි.

දැනට ගෙවීම් පැහැර හැර ඇති ව්‍යාපාරික ණය සඳහා අවුරුදු එක හමාරක කාලයක් පොලිය පමණක් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, එම සහන කාලයෙන් පසු ලබාදුන් ණය මුදල ගෙවීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීම එහිදී යෝජනා වූ කරුණු කිහිපයකි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන පරිදි මෙම යෝජනා ඉදිරියේදී මහ බැංකුවේ අනුමැතියට යොමුකරනු ඇති.

2015 ආණ්ඩු වෙනසත් සමග වාහන ආනයන බදු අඩුකිරීම, ගෑස්, පෙට්‍රල් , භූමීතෙල් , ඩීසල් මිල ගණන් අඩු කිරීම මගින් රාජ්‍ය ආදායම අඩු වූ අතර රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් ඉහළ දමමින් අනිත් අතට රාජ්‍ය වියදම ද වැඩි කර ගෙන තිබේ.

අයවැය හිඟයට මුහුණදීම සඳහා මන්දිර බදු, කැසිනෝ ආයතන හා සුදු ඔට්ටු මත බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග යෝජනා කලත් ඒවා බොහොමයක් ක්‍රියාත්මක වුනේ නැත.

රජයේ ආදයම අඩුවීමේ ප්‍රතිඵලය වූයේ දේශීය මෙන්ම ජාත්‍යන්තරව රජය ගත් ණය ආපසු ගෙවීමේ අර්බුදයකට මුහුණදීමයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි මත ණය ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක් එහිදී නිර්මාණය වුනේ මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

ආර්ථිකය කඩා වැටෙනකොට ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වෙනකොට දරුණු ලෙස නාය යනකොට 2016 දී හිටපු මුදල් ඇමතිට අවශ්‍යන්ම ගිවිසුමකට එළඹෙන්න බලපෑම් කළා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1.4 ක් ලබා ගැනීම සඳහා තුන් අවුරුදු ගිවිසුමක් තමයි අත්සන් කළේ. 2019 න් එය අවසන් වෙන්න තිබුණා. 20 වෙනකම් ඒ ගිවිසුම ගෙනිච්චා. ඕනෙම රජයක් ආපුහම ඒ රජයේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළහම ඒක විනාශකාරී නොවන එකක් නම් ඒකට අනුගත වෙන්න මූල්‍ය අරමුදල සහය දක්වනවා. ඉතිහාසයෙත් එහෙමයි. ඒ මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ලට යටත් වෙන්න වෙන්නේ අර දේශපාලන නායකයින් විසින් දේපාලන අරමුණු සඳහා රාජ්‍ය මුල්‍ය පද්ධතිය යොදා ගන්නකොට කිසිසේත් පාලනය කර ගත නොහැකි විට ඔවුන් ඇවිල්ලා මැදිහත් වෙනවා. ඉතින් ඒක වෙනස් කර ගන්න පුළුවන්කම ලැබෙයි.

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව මත මුල්‍ය අරමුදල පෙන්වාදුන් කරුණු පදනම් කරගෙන දේශීය ආදායම් පනතක් පසුගිය රජය සම්මත කර ගෙන තිබේ.

බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මේ පනතේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව මත අධික බදු බරක් පැටවුණු බවයි.

දේශිය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන,

විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දුන්නු 2017 අංක 24 දරන දේශීය ආදයම් පනතට සංශෝධනයන් අනුමත කර තිබෙනවා. මේ වෙනකොට. එකතුකළ අගය මත බදු 15 % සිට 8 % දක්වා අඩු කිරීමත් ජාතිය ගොඩනැගීමේ බද්ද 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමත් තුළ ජනතාවට විශාල සහනයක් මෙයින් ලැබෙනවා ව්‍යාපාරික ප්‍රජාවට විශාල සහනයක් ලැබෙනවා. රටේ ආයෝජන දිරි ගැන්වීමක් සිදු වෙනවා. රටේ ඉතිරි කිරීම් වැඩිවීමක් සිද්ධ වෙනවා ඒ වගේම ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවෙනවා. මේ තුළ රටේ සංවර්ධනයට වේගවත් ගමනක් යා හැකි බවයි අපගේ අවබෝධය අපිට පැහැදිලි ලෙස කියන්න පුළුවන් මේ තත්ත්වය යහපත් ප්‍රවනතාවක් බව මේ තත්ත්වය මුල්‍ය අරමුදල ඉදිරියේ දන නොනමා රජය විසින් මුල්‍ය අරමුදලේ බලපෑම මත පසුගිය රජය විසින් ඉදිරිපත් කළ දේශිය ආදායම් පනත සංශෝධනය කිරීමට සහ එය මුලින් උපුටා දැමීමට නව පනතක් හඳුන්වාදීමට ගෙන යන්නාවු පිළිවෙතට අපි අපගේ ගෞරවය හා ස්තූතීය මේ අවස්ථාවේ පළ කරනවා.

පසුගිය කාලයේ නිව්ස් ෆස්ට් දිගින් දිගටම පෙන්වා දුන්නේ ද මේ කරුණයි.

අප කියා සිටියේ අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් සකස් කරන්නේ නම් මූල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියා නොකළ යුතු බවයි.

අප්‍රිකාව හෝ වෙනත් කලාපයක රටවලට ගැලපෙන ලෙස සකස් කළ බදු නැත්නම් වෙනත් ආර්ථීක කළමනාකරණ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමු අමුවේ මෙරටට හඳුන්වාදීමට උත්සාහ කර තිබේ.

එහි ප්‍රතිඵලය වූයේ 2015 දක්වා අඩු අනුපාතයක පැවති බොහෝ බදු වර්ග ඉහළ අනුපාතයකින් වැඩිවීමයි.

15% ක වැට් බද්දක් දැරූ ජනතාවට තව ත් පසෙකින් ජාතිය ගොඩ නැගීමේ බද්ද ද දරා ගැනීමට සිදු විය.

උපයනවිට බදු ගෙවිය යුතු ආදායම් ප්‍රමාණය හා ප්‍රතිශතය ද පසුගිය ආණ්ඩුවේ අවසාන කාලසීමාව වනවිට පැවතියේ ඉතා ඉහළ මට්ටමකයි.

බදු අඩුකර ජනතාව මත පැටවූ බර යම් තරමකින් හෝ සැහැල්ලු කිරීමට නව රජය දරන වෑයම අගය කළ යුතුයි.

නමුත් බදු අඩු කළ පමණින් ආර්ථිකය නගා සිටුවිය හැකි ද?

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගන්වන බොහෝ අවස්ථා පසුගිය කාලයේ අවහිර කළා.

ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්ට මූල්‍ය ශක්තියක් සැපයූ සංවර්ධන බැංකු ක්‍රමය රටෙන් ඉවත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මතයි.

මේ බැංකු ක්‍රම යළි හඳුන්වාදී ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ශක්තිමත් කර දේශීය නිෂ්පාදන ක්‍රියාවළිය යළි පනගැන්වීමට දැන් කාලය උදාවී තිබේ.

අපනයන ආදායම වැඩි කර ගැනීමෙන් තොරව රටේ ආර්ථින දියුණු කළ නොහැකි බව ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි කරුණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනා එපාකම් අනුව කටයුතු කරනවා වෙනුවට බදු වෙනස් කරමින් ජනතාවට සහන සැලසූ අයුරින්ට රටේ නිෂ්පාදන ආර්ථිකය අපේ රටට ගැලපෙන අයුරින් පනගන්වනු දැකීම අපේත්, රටේත් අපේක්ෂාවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]