ඡන්ද අපේක්ෂකයින්ගේ ඇප මුදල ඉහළ දාන්න යෝජනාවක්

මැතිවරණයකදී තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට යෝජනාවලියක්

by Staff writer 28-11-2019 | 6:35 AM

COLOMBO (News 1st) - ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමේ යෝජනාවලියක් සකස් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඡන්ද විමසීම් සඳහා වැඩි අපේක්ෂයින් පිරිසක් ඉදිරිපත්වීම අවම කිරීමේ අරමුණින් එම යෝජනාවලිය සකස් කළ බවයි. එම යෝජනාවලියට අනුව මහමැතිවරණවලදී මෙන් ම පළාත් සභා ඡන්ද විමසීම්වලදී පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු රුපියල් 5000 ක ඇප මුදලක් තැන්පත් කළ යුතු බවට නව නීතියක් හඳුන්වාදීමට නියමිතයි. ස්වාධීන අපේක්ෂකයෙකු නම් රුපියල් 7500 ක පමණ ඇප මුදලක් තැන්පත් කළ යුතු වේ. ජනාධිපතිවරණයට පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල ලක්ෂ 25 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයකුට ලක්ෂ 30 ක පමණ මුදලක් තැන්පත් කළ යුතු වේ. ජාතික මැතිවරණ කොමිෂමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වන්නේ වසර 30 කට පෙර ගෙන ආ නීතියක් බවයි.