පළමු විදෙස් සංචාරය අරඹමින් ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි

by Staff writer 28-11-2019 | 2:16 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල විදෙස් සංචාරය අරඹමින් අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා එලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයකිනි. එම සංචාරයට ජනාධිපතිවරයා සමග පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිති. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා එලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.