ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ජනපතිගේ නම භාවිත කරමින් ජනතාව මුලාකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර

by Staff writer 28-11-2019 | 7:21 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම භාවිත කරමින් ජනතාව මුලා කර වාසි ලබා ගැනීමට තැත් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් ජනාධිපතිවරයා සමග සමීප සබඳතා ඇතැයි හගවමින් ජනතාව මුලා කර අයුතු වාසි ගැනීමට උත්සාහ දරන බවට සාක්ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බවයි. විවිධ තනතුරු , පත්වීම් ටෙන්ඩර් ලබාදීමේදී උපකාර කළ හැකි යැයි ඔවුන් ජනතාවට ප්‍රකාශ කර තිබේ. එවැනි ඇතැම් පුද්ගලයින් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ හැකියාවක් පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා පිළිබඳව ද තොරතුරු වාර්තා වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. එම මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථිරසාර පිළිවෙත වන්නේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයකට සහ පරිපාටියකට අනුව වැඩ කිරීම බවයි. ඉන් බැහැරව තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සදහා ජනාධිපතිවරයා පොළඹවා ගැනීමට කිසිවෙකුටත් නොහැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේ එවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙසයි.