යුද හමුදා බුද්ධි සාමාජිකයින් 9 කට අධි චෝදනා

එක්නැලිගොඩ නඩුව: ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන ඇතුළු යුද හමුදා බුද්ධි සාමාජිකයින් 9 කට අධි චෝදනා

by Staff writer 27-11-2019 | 2:36 PM

COLOMBO ( News 1st ) - ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී ඇත.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රහසිගත ලෙස සහ අයුතු ලෙස සිරගත කර තැබීමේ චේතනාවෙන් පැහැර ගෙන යාම සහ මරණය සිදු කිරීම ඇතුළු අධිචෝදනා 17 ක් යටතේ ය. අද දින නඩු විභාගය ආරම්භ වූයේ, කොළඹ විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. 2010 ජනවාරි 24 සහ 27 කාලය තුළ ගිරිතලේ, කොස්වත්ත සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අන් අය සමග එක්ව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ. නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, ආර්.එම්.ඩී.කේ. රාජපක්ෂ හෙවත් නාදං, වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි, චමින්ද කුමාර අබේරත්න, ධනුෂ්ක ගුණරත්න, අයිය සාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර් පිරීස් යන අයයි. අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර දුන් ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ මහාධිකරණය නියෝග කර සිටියේ ය. විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළේ ය. නඩුව ලබන 18 වනදා යළි කැඳවීමට නියමිත ය.