PE+ සන්නාමය භාවිත කර අනවසරයෙන් නිෂ්පාදන කළ ආයතනයකට

PE+ සන්නාමය භාවිත කර අනවසරයෙන් නිෂ්පාදන කළ ආයතනයකට දඩ

by Staff writer 26-11-2019 | 9:06 PM
COLOMBO (News 1st) : PE+ වෙළෙඳ සන්නාමය භාවිත කරමින් අනවසරයෙන් නිෂ්පාදන සිදුකළ වෙළෙඳ ආයතනයකට එරෙහිව අද පියවර ගනු ලැබී ය. ඒ, ඊට අදාළ නඩුව රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. PE+ පුද්ගලික සමාගම විසින් අදාළ නඩුව පවරනු ලැබුවේ එම සමාගමේ වෙළෙඳ ලකුණ ව්‍යාජ ලෙස අනුකරණය කර තවත් ආයතනයක් විසින් ටයිල් හා යකඩ කැපීමට යොදා ගන්නා ඩයමන්ඩ් හා කටින් ඩිස්ක් තොග වශයෙන් බෙදාහැර තිබීමට එරෙහිවයි. PE+ සමාගම වෙනුවෙන් නීතිඥයින් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ, අදාළ ආයතනය විසින් මහජනයා නොමග යවමින් බුද්ධිමය දේපළ පනතේ වගන්ති උල්ළංඝනය කර ඇති බවයි. එය අසාධාරණ වාණිජ තරගකාරිත්වයක් පවත්වාගෙන යාමක් බවත් බුද්ධිමය දේපළ පණත යටතේ PE+ වෙළෙඳ ලකුණේ නිත්‍යානුකුල අයිතිවාසිකම් උල්ළංඝනය කිරීමක් බවත් අධිකරණයට කරුණු පෙන්වා දුන්නේ ය. මෙම චෝදනාවන්ට අදාළව මීට පෙර අවස්ථා කිහිපයකදිම වරද පිළිනොගත් අදාළ ආයතනයේ නිලධාරීහු අද අධිකරණයේදී වරද පිළිගත්හ. ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා ඔවුන්ට රුපියල් ලක්ෂයක දඩ නියම කරමින් අදාළ ව්‍යාජ නිෂ්පාදන අධිකරණයේ අධීක්ෂණය ඇතිව විනාශ කරන ලෙස නියෝග කළේ ය. එය බුද්ධිමය දේපළ පනත යටතේ පැනවිය හැකි ඉහළම දඩයකි. මේ අතර ඇස්ට්‍රික්ස් , ද සීක්‍රට් ඔෆ් ද මැජික් පෝෂන් චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශන අයිතිය හිමි එම්.එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම , ස්වාධීන රූපවාහිනියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් හා රුපියල් මිලියන 300 ක වන්දියක් ඉල්ලා පසුගිය 14 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කළේ ය. එම්.එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජූලියස් සහ ක්‍රීසි සමාගමේ නීතිඥවරුන් කියා සිටියේ එම සමාගමේ අයිතීන් උල්ලංඝනය කරමින් 2019 ඔක්තෝබර් 19 වන දින මෙම චිත්‍රපටය සිංහල බසින් හඩකවා ස්වාධීන රූපවාහිනියේ විකාශය කර ඇති බවයි. නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සලකා බැලු කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා ස්වාධීන රූපවාහිනියේ නිලධාරීන්ට දෙසැම්බර් මස 2 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේ ය.