ගම්පහ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

කඩවතදී ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීමෙන් ගම්පහ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

by Staff writer 26-11-2019 | 11:53 AM

COLOMBO ( News 1st ) - කඩවතදී ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීමෙන් ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ කඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුව ඇති බව ය. ඒ අනුව කටුනායක, සීදූව, ජා ඇල, වත්තල, මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ ය. ඊට අමතරව ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා තිබේ. එසේම රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ දියගම ළමා නගරය ජල සැපයුම විසන්ධි වී ඇති සෙසු ප්‍රදේශයි. මේ වනවිට හානි සිදු වූ ප්‍රධාන නල මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පැවසුවේ ජල සැපයුම යථා තත්ත්වයට පත්වන වේලාව හැකි ඉක්මනින් දැනුම්දීමට කටයුතු කරන බව ය.