IP නිශාන්ත විදෙස්ගතවීම ගැන වහාම පරීක්ෂණයක් ඉල්ලයි

IP නිශාන්ත විදෙස්ගතවීම ගැන වහාම පරීක්ෂණයක් ඉල්ලයි

by Staff writer 25-11-2019 | 12:18 PM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක, නිශාන්ත සිල්වා මහතා නොදන්වා විදෙස්ගත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස් මූලස්ථානය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ. නිශාන්ත ද සිල්වා මහතා ඊයේ දහවල් කටුනායක ගුවන් තොටුපළින් ස්විට්සර්ලන්තය බලා ගොස් තිබිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් නිලධාරියෙකු රාජකාරි හෝ පෞද්ගලික කරුණක් මත විදේශගත වන්නේ නම් අමාත්‍යංශ ලේකම්තුමාගේ අනුමැතිය අනිවාර්යය වන බවයි. නමුත් මෙම පොලිස් පරීක්ෂකවරයා විදෙස්ගතවී ඇත්තේ, කිසිදු අනුමැතියකින් තොරව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පසුගිය වසර 4 ක පමණ කාලය තුළ සිදුකළ විමර්ශනයන් පක්ෂග්‍රාහීව සහ අයුක්ති සහගත ලෙස සිදුකළ බවට නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් මෙම නිලධාරියාට එරෙහිව දෝෂාරෝපණයන් එල්ලවූ අතර ඒ පිළිබඳව අපක්ෂපාතීව පරීක්ෂණයක් පවත්වන ලෙස ද නොයෙකුත් පර්ශ්වයන් ඉල්ලා සිටින වාතාවරණයක් තුළ මෙලෙස මෙම නිලධාරියා අනුමැතියකින් තොරව විදෙස්ගතව ඇති බවයි. ඔහුට විරුද්ධව කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් මේ දක්වා ආරම්භ කර නොමැති අවස්ථාවකදී ඔහු මෙලෙස විදෙස්ගතවී ඇති බවට වැඩිදුරටත් නිරීක්ෂණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් භාරව සිටි ස්ථානාධිපතිවරයෙක් මෙලෙස කිසිදු අවසරයකින් තොරව කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගතවීම බරපතළ ගැටලුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත අද දැනුම් දෙනු ලැබ තිබේ. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අනවසරයෙන් විදෙස්ගත වීම විනය විරෝධී ක්‍රියාවක් බැවින් එම ක්‍රියාව සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.