COLOMBO ( News 1st )- නිසි දැනුම්දීමකින් තොරව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක, නිශාන්ත සිල්වා මහතා ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපොළින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබුණි.
පොලිස් නිලධාරියෙකු රාජකාරි හෝ පෞද්ගලික කරුණක් මත විදේශගත වන්නේ නම්, අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්ය වේ.
නමුත් නිශාන්ත සිල්වා මහතා මෙලෙස විදෙස්ගත වී ඇත්තේ කිසිඳු අනුමැතියකින් තොරව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීම, කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය ඇතුළු පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධීන් කිහිපයකටම අදාළව විමර්ශන භාරව කටයුතු කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ය.
එම විමර්ශනයන් පක්ෂග්‍රාහීව සහ අයුක්ති සහගත ලෙස සිදු කළ බවට නොයෙකුත් පාර්ශවයන්ගෙන් මෙම නිලධාරියාට එරෙහිව දෝෂාරෝපණ එල්ල විය.
ඒ, පිළිබඳව අපක්ෂපාතීව පරීක්ෂණයක් පවත්වන ලෙස නොයෙකුත් පර්ශවයන් ඉල්ලා සිටින වාතාවරණයක් තුළ මෙලෙස මෙම නිලධාරියා අනුමැතියකින් තොරව විදෙස්ගතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මෙම නිලධාරියා අනවසරයෙන් විදෙස් ගතවීම විනය විරෝධී ක්‍රියාවක් බැවින් එම ක්‍රියාව සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය.
මේ අතර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විදෙස් ගතවීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විවේචනයට ලක් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
දැන් සී.අයි.ඩී. එකේ නිශාන්ත මහත්මයා මේ සියලු දෙවල් කරපු මිනිහා ඊයේ දවස වෙනකොට පොලීසිය දන්නෙත් නෑ රටින් පිටවෙලා. දැන් මොකක්ද මේ පණිවිඩය. මේ පණිවිඩය තමයි බොහොම පැහැදිලිව මේ අය දේශපාලන වශයෙන් මේ රටේ මිනිස්සු දඩයම් කරපු අය දැන් උත්තර දෙන්න බැරුව දැන් රටින් පැනලා යනවා. තව එක්කෙනෙක් ඉන්නවා. මේ දැන් පනින්නේ සොක්කෝ. දැන් ලොක්කො ටික පනින්න හදනවා. හිටපු ඇමතිවරු තුන්දෙනෙක් ලැස්ති වෙනවා. දැන් හිමීට අසනීප තත්ත්වයෙන් සිංගප්පූරුවට යන්න. සාමාන්‍යයෙන් දැන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට දැන් අසනීප වැඩි වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලනවා මැතිවරණයට දින තුනක් හතරක් තියෙද්දි අර වඩිග පටුනට නටන්න රැවුල දාල අන්න ඒ ගෙනාපු මහත්තුරු දෙන්නයි , ඒ ගෙනාපු රාජිත සේනාරත්නයි වහාම ඔවුන්ගෙන් කට උත්තර ලබා ගන්න. මේ රටේ නීතිය නවලා නෙවෙයි . නීතිය එහෙම පිටින්ම හක්කේ දාලා හපලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච හැම දෙනාටම නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියලා අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා
ඔහු හරහා තමයි මෙරට බුද්ධි අංශ දඩයම ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කිරීමේ ක්‍රියාවලිය දිගේලිවුණේ. මේ තරම් ඉක්මණින් ඔවුන්ට වීසා ගහලා රටින් එළියට පනින්න ලැබීමෙන්ම පේනවා ඒ පරගැති න්‍යාය පත්‍රයකට තමා ඔවුන් කටයුතු කළේ කියලා. අපි ඒ පරගැති පාලනයෙන් මේ රට නිදහස් කර ගත්තා.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
මේ වගේ තවත් අය යන්න පුළුවන්?
විමල් වීරවංශ මහතාගේ පිළිතුර -
තවත් නිලධාරීන් දෙන්නෙක් අපිට ආරංචි වෙලා තියෙනවා විදේශ රටක වීසා ලබාගෙන පවුල පිටින් පැනයන්න සුදානම් වෙලා ඉන්නවා. ඒත් රහස් පොලීසියට සම්බන්ධ දෙන්නෙක්. මම ආරක්ෂක ලේකම්තුමාගෙන් විමසූ වේලාවේ දැන්වුවා ඒක වළක්වාලීමට අවශ්‍ය සියලු පියවර අරන් තියෙන්නේ කියලා.