අබුඩාබි T10 ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

අබුඩාබි T10 තරගාවලියේ ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

by Staff writer 25-11-2019 | 7:28 AM
COLOMBO (News 1st) : 2019 අබුඩාබි T10 හෙවත් පන්දුවාර 10 යි 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය. ඒ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. තරගාවලිය අබුඩාබි හීදි පැවැත්විණ. අවසන් මහා තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 87 ක් පමණි. මොහොමඩ් ශසාඩ් ලකුණූ 14 ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ පන්දු 12 කදී ලකුණු 23 ක් රැස් කළේ, හතරේ පහරක් හා හයේ පහර 2 ක් සමගිනි. බෙන් කටිං ලකුණූ 12 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි අසීෆ් කාන් ලකුණූ 25 ක් රැස් කරගෙන සිටියේ ය. පන්දු යැවීමේ දී ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 2ක් බිද හෙළු අතර, ලසිත් මාලිංග, කසුන් රාජිත සහ මිචෙල් මැක්ලෙනගන් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. ඉනිමේ අවසන් පන්දු ත්‍රිත්වයේ දී දුවද්දී දැවී යාම් 3ක් සිදු වූ අතර, එම දුවද්දී දැවී යාම් ත්‍රිත්වයටම සම්බන්ධ වූයේ කඩුලු රකින් ක්‍රීඩක චඩ්වික් වෝල්ටන් වීම විශේෂත්වයකි. අනතුරුව ලකුණු 88 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මාරාතා ඇරබියන්ස් ක්‍රීඩකයින් එම ඉලක්කය පසුකලේ පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියිදීයී. ක්‍රීස් ලීන් ලකුණූ 16 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි චඩ්වික් වෝල්ටන් පන්දු 26 කදී ලකුණූ 51 ක් රැස් කළේ හතරේ පහර 6 ක් හා හයේ පහර 3 ක් සමගිනි. නජිබුල්ලා සඩ්රන් නොදැවී ලකුණු 12 යි. තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ මරාත ඇරබියන්ස් කණ්ඩායමේ ක්‍රිස් ලින් ය. ඒ අනුව කඩුලු 8 කින් තරගය ජය ගනිමින් 2019 අබුඩාබි ටී ටෙන් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට මාරාතා ඇරබියන්ස් කන්ඩායම සමත් වු අතර මෙවර තරගාවලියේ වැඩිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංඛ්‍යාවක් තරග කළේ ද එම කණ්ඩායමටයි. ලසිත් මාලිංග , කසුන් රාජිත , දසුන් ශානක සහ වනිදු හසරංග එම කණ්ඩායම නියෝජනය කළේ ය. මේ අතර මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට තිසර පෙරේරා නායකත්වය දැරූ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.