බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ඉන්දීයාව හමුවේ අසරණ වූ බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරිමේ සටනක

by Staff writer 24-11-2019 | 8:59 AM

News 1st - තරග දෙකකින් සමන්විත ඉන්දීය - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද තුන්වන දිනටත් පැවැත්වේ.

ඒ, ඉන්දියාවේ කොල්කටාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේදී ය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 152 කි. 21 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරන මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 59 ක් රැස් කරගෙන සිටින අතර මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 39 ක් රැස් කරගෙන සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඉන්දියාව හා බංග්ලාදේශය සහභාගී වන ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය වන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 106 ක් පමණි. ශඩ්මන් ඉස්ලාම් ලකුණු 29 ක් රැස් කළ අතර ලිටන් දාස් ලකුණු 24 ක් රැස් කරගෙන සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. නයීම් හසන් ලකුණු 19 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉශාන්ට් ශර්මා ලකුණු 22 ට කඩුලු 5 ක් දවා ගත් අතර උමේෂ් යාදෙව් කඩුලු 3 ක් හා මොහොමඩ් ශාමි කඩුලු 2 ක් දවා ගත්තේ ය. අනතුරුව සිය පළමු ඉණිම සදහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් සිය පලමු ඉණිම අත්හිටවූවේ පන්දුවාර 89 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 347 ක් රැස් කරගෙන සිටියදී ය. ටෙස්ට් දිවියේ 24 වන අර්ධ ශතකය වාර්තා කළ චෙතේස්වර් පුජාරා ලකුණු 55 ක් රැස් කළ අතර 22 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අජින්කයා රහනේ ලකුණු 51 ක් රැස් කළේ ය. ටෙස්ට් දිවියේ 27 වන ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි ලකුණු 136 ක් රැස් කළ අතර ඔහු වාර්තා අතරට එක් වූයේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකරු ලෙසයි. පන්දු යැවීමේදී අල් අමීන් හුසේන් හා එබ්ටාඩ් හුසේන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.