by Staff writer 23-11-2019 | 6:31 PM
COLOMBO (News 1st) : සාමූහික වගකීමෙන් තොරව එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීමෙන් සිදුවන්නේ නැවත නැගී සිටීමට දරන උත්සාහය විනාශ වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ, ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු සහ වගකීම පිළිබඳව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමිනි.
නොවැම්බර් 20 වැනිදා නිකුත් කර තිබූ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවේදනයෙන් හිතාමතාම සත්‍යය වසන් කර වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට චෝදනා ඉදිරිපත් කර ඇති බව තිස්ස අත්තනායක මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර සතියකට පසුව බව එහි සඳහන් ය.
එලෙස අපේක්ෂකත්වය ප්‍රමාද කිරීමෙන් ජයග්‍රහණයට විශාල බාධාවක් සිදු කළ බව අත්තනායක මහතා පෙන්වා දෙයි.
බිම් මට්ටමේ සංවිධාන සක්‍රීය කර මැති ඇමැතිවරුන් සංවිධායකවරුන් ඇතුළු නිලධාරීන්, සංවිධාන,වෘත්තීය සමිති මෙහෙයවීම, පක්ෂ නායකත්වයෙන් සිදු කළ යුතු වුවත්, එය මනා කළමනාකාරීත්වයකින් හා නායකත්වයකින් යුතුව මෙහෙයවූවා ද යන්න පිළිබඳව වගකිවයුතු සියලු නායකයින් හෘදය සාක්ෂියට එකඟව අවංකවම සිතා බැලිය යුතු බවයි.
පක්ෂය තුළින් එවැනි නායකත්වයක් නොලැබුණු බවත් පාක්ෂිකයින් හා ක්‍රියාකාරීන් බොහෝ අවස්ථාවල නායකයින්ටත් වඩා ඉදිරියෙන් සිටිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් බවත් ගෞරවයෙන් සිහිපත් කරන බව ද නිවේදනයේ සඳහන් ය.
වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිදු කළේ, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැස්වීම් මාලාව සංවිධානය කිරීම, විශේෂ කණ්ඩායම් හා විශේෂ අවස්ථාවන් සූදානම් කිරීම මෙන්ම එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධ දේශපාලන පක්ෂ හා සංවිධාන සිවිල් පුරවැසි කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීම හා ඔවුන් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වටපිටාවක් සකස් කිරීම තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු පවසන්නේ එම කාර්යයන් උපරිමයෙන් හා කාර්යක්ෂමව සිදු වූ බවයි.
ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ මෙහෙයුම් කළමනාකරු ලෙස නම් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා බවත්, අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී හා පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳව දුන් උපදෙස් නැවත නැවතත් සිහිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ හා අපේක්ෂකයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලදී මැතිවරණයේ සියලු මෙහෙයුම් සඳහා උපදෙස් දුන්නේ ද මෙහෙයුම් කළමනාකාර මලික් සමරවික්‍රම,සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ට බව ද තිස්ස අත්තනායක මහතාගේ නිවේදනයේ සඳහන් ය.
කාරියවසම් මහතාගේ ලිපිය තුළින් පක්ෂය නැවත නැගී සිටීමට දරණ උත්සාහයට වන බලපෑම පිළිබඳව ද තිස්ස අත්තනායක මහතා සඳහන් කර තිබේ.
https://www.youtube.com/watch?v=ZE5A3q6epik