රාජ්‍ය ව්‍යාපාර,සංස්ථාවල මුල්පුටු තේරීම කමිටුවකින්

රාජ්‍ය ව්‍යාපාර හා සංස්ථාවල මුල් පුටු තේරීම කමිටුවකින් - ජනපති

by Staff writer 22-11-2019 | 8:19 PM
COLOMBO (News 1st) : ජනපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට වග බලා ගන්නා මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන් සහ ඉදිරියේදී දිවුරුම්දීමට අපේක්ෂා කරන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉල්ලා සිටියේ ය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති දිවුරුම්දීමේ උත්සවයේදී නව ඇමති මණ්ඩලය අමතමිනි. තව ද දැනට පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ආයතන භාණ්ඩාගාරයට බරක් නොවෙන ලෙස පවත්වා ගෙන යා යුතුව ඇති බවයි.
"අපිට සඳුදා පමණ වෙන කොට පුළුවන් ඉතුරු රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන්නට. මම ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට නියමිත රාජකාරී කරන්නට ඔබතුමාලගේ සහය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මම ඇමතිවරුන්ගෙන් සහ ඉදිරියේ දී පත්වීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපි වැඩ කටයුතු කරමු කියන කාරණය. අමාත්‍යවරුන් යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසාය හා සංස්ථා මේවා අපි දන්නවා බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවෙන ලෙස සාර්ථකව ගෙනයන්නට අවශ්‍යයි. මේක කරන්නට පුළුවන්"
තවද අදාළ ආයතන කාර්යක්ෂම සහ ලාභ ලබන ආයතන බවට පත් කිරීමට නම්, ආයතන ප්‍රධානීන් ලෙස වෘත්තීයමය මෙන්ම දැනුමක් සහිත පිරිස් පත් පත් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පැවසී ය.
"විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ දී ඒ කාර්යය කරන්නට පුළුවන් සුදුසුකම් තිබෙන වෘත්තීයමය වගේම ඒකට දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා. තේරීම් මණ්ඩලයක් හරහා අපි මේ අය තෝරනව කියන එක. ඇමතිතුමන්ලාගෙන් මම ඉල්ලා සිටිනවා, ඒ ඒ ආයතනවලට සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒ අය ඒ කාර්යයට සුදුසුද තෝරා ගන්න. මේක ඉතාව වැදගත් මොක ද මේ ආයතන කාර්යක්ෂම ඒ වගේම ලාභ ලබන ආයතන බවට අපි පත්කරගත යුතුයි"
තව ද අමාත්‍යංශවල පුරප්පාඩු පිරිවීමේදී රටේ සෑම ප්‍රදේශයකම මන්ත්‍රීවරයෙකුටම සමාන අයිතියක් ලබා දියු යුතු බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2511816532216985/