දි.මු ජයරත්නගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

දි.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

by Staff writer 22-11-2019 | 2:16 PM
COLOMBO ( News 1st ) - අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට රැගෙන ආවේ ය. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය ගම්පොල පිහිටි නිවසේ සිට වීගුලවත්ත ක්‍රීඩාංගණයට රැගෙන ආවේ රිය පෙරහැරකිනි. එහි සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා දේහය ගුවනින් රැගෙන ආවේ ය. හෙලිකොප්ටර් යානය අද පස්වරු 1.00 ට පමණ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළගා විය. ඉන් පසුව දේහය පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා රැගෙන ආවේද රිය පෙරහැරකිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසුරිය, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක,වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවට ගෙන ආවේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ, හිටපු අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව පුද කළේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි පැමිණියේ ය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වීමෙන් පසු දි.මු. ජයරත්න මහතාගේ දේහය ගුවනින් යළි රැගෙන ආවේ ගම්පොළ පිහිටි නිවසටයි. 88 හැවිරිදි දි.මු.ජයරත්න මහතා අභාවප්‍රාප්ත වූයේ, මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අවසන් කටයුතු හෙට පස්වරුවේ ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=RNoZL4d4ddI