ශ්‍රීලනිප  මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හිටපු ජනපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

by Staff writer 21-11-2019 | 6:46 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ.

ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පස්වරු 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට එය නියෝජනය කරන සියලු සාමාජිකයින්ට ආරාධනා කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සහ ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවක වගකීම් භාර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මධ්‍යම කාරක සභාවේදී අවධානය යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය. ඒ පිළිබඳව ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ ය.