"යුක්‍රේනට බලපෑම් කළේ ට්‍රම්ප්ගේ නියෝගය මතයි"

අමෙරිකානු ජනපති නියෝග මත යුක්‍රේනයට බලපෑම් කළ බව තානාපතිවරයෙකු පිළිගනී

by Staff writer 21-11-2019 | 7:17 AM

News 1st - තමන්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග මත ඔහුගේ දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමයර් සෙලෙන්ස්කිට බලපෑම් කළ බව යුරෝපා සංගමයේ අමෙරිකානු තානාපතිවරයකු වන ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ් ප්‍රකාශ කරයි.

ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ් සඳහන් කළේ, ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයා වන රූඩි ගිලියානි ඒ සම්බන්ධයෙන් තමුන්ට උපදෙස් දුන් බවයි. ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන තෙක් යුක්‍රේනයට යුධ ආධාර ලබාදීම අවහිර කිරීමට ජනපති ට්‍රම්ප් කටයුතු කර ඇතැයි චෝදනා කරමින් පැවැත්වෙන දෝෂාභියෝග විමර්ශනයේදී ගෝර්ඩ්න් සොන්ඩ්ලන්ඩ් මේ බව ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් තමාට එරෙහි සියලු චෝදනා ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකානු නීතියට අනුව මැතිවරණයේදී වාසි ලබාගැනීමට, විදේශික සහය ලබාගැනීම නීති විරෝධි වේ. ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත ජෝ බයිඩන්, ජනපති ට්‍රම්ප්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වනු ඇති බවට මත පළ වෙයි. මෙම චෝදනාවට ජනාධිපතිවරයා වරදකරු බව තහවුරු වුවහොත් ඔහු සෙනෙට් සභාවේදී දෝෂාභියෝගයකට මුහුණදෙනු ඇති. එසේ වුවත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නම් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් බහුතරයක් සිටින සෙනෙට් සභාවෙන් තුනෙන් දෙකක් ජනපති ට්‍රම්ප්ට එරෙහිව ජන්දය භාවිත කළ යුතු වේ.