අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයේ රාජකාරී අරඹයි

by Staff writer 21-11-2019 | 4:05 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය. අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරී ආරම්භ කළේ, මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේයි. වැඩ අරඹමින් මහින්ද රාජපක්ෂ මහතා ගාමිණි සෙනරත් මහතාට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්වීම් ලිපිය ලබාදුන්නේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගාමිණි සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ඇතුළු නතතුරු කිහිපයකම කටයුතු කළේ ය. අද දහවල් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සිදු කළේ ය.