ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රනිල් මහත්තයෝ, එජාප නායකත්වයෙන් කරුණාකර ඉවත් වෙන්න...

by Staff writer 20-11-2019 | 7:52 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අද පස්වරුවේ ඔහු ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ,
පසුගිය වසර 5 ක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලු ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකිවීම ඉන් ලද එක් ප්‍රතිඵලයක්. අප කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි. මම 19 වෙනි දා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමුවුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා. මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියලු දෙනාටම ස්තූතිය පිරිනමනවා. මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පවසා තිබේ. ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යැයි එහි සඳහන් ය. ජනතාවගේ සිතට මෙහිදී නැගෙන ප්‍රශ්නයක් තිබේ.

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ?

පක්ෂය පරාජය පිට පරාජය ලබද්දී ඡන්ද පදනම වාර්තාගත ලෙස පහළ වැටෙද්දී, ඕනෑම ඡන්දයකකදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි බිම් මට්ටමේ සංවිධාන විනාශ කර තිබියදීත් පක්ෂයේ නායකත්වය තරුණ, තමන්ට වඩා හැකියාවෙන් යුත් ජනප්‍රිය පරපුරකට ලබාදීම ඔහු දිගින් දිගයම මග හරිමින් සිටි. රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන්නේ වංචා දූෂණ වැළැක්වීමේ පොරොන්දුවක් මතයි. නමුත් රටේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව හෙළිවන්නේ ඔහුගේ ධුර කාලය තුළයි.

රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා 5 කදී රටේ අගමැති ධුරයට පත්වුවත් ඒ කිසිදු අවස්ථාවක නියමිත ධුර කාලය සම්පූර්ණ කිරීමට අසමත් විය.

අපේ දේශය ඉදිරියට රැගෙන යන වගකීම් පැවරෙද්දී සෑම අවස්ථාවකම ඔහු රන් බන්දේසියක තබා එය වෙනත් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පවරා දුන්නේ ය. ඒ සෑම අවස්ථාවකම ඔහු අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඔහු සතුවම තබා ගත්තේ ය. රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේ, ඔහු ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බවයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවළියක් තුළ තිබිය යුතු මූලික අංගයක් වන්නේ ශක්තිමත් විපක්ෂයයි. ශක්තිමත් විපක්ෂයක් නොමැතිනම් දූෂණය සහ ඒකාධිපතිත්වය කරා රට ඇද දමන්නට පුළුවනි.

වික්‍රමසිංහ මහතාණෙනි, දැන් කාලය උදාවී තිබේ.

ඔබට ශ්‍රී ලංකාවේ ජනතාවගේ හෘද ස්පන්දනයට ගරු කිරීමට වුවමනා නැති වන්නට පුළුවන්. එසේ වුවත් අඩුම තරමේ ඔබගේ නම ගැනවත් සිතා දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන්න. දිගු ඉතිහාසයක් ඇති මේ පක්ෂයට යළි නැගී සිටීමට ඉඩදෙන්න. මෙරට තනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඒ ඉඩ ලබාදෙන්න. පාර්ලිමේන්තුවේ කඩා වැටුණු එක්සත් ජාතික පක්ෂයක විපක්ෂ නායකයා ලෙස ක්‍රියා කිරීමට ඇති ඔබේ සැළැස්ම හරහා වාසි අත්වන්නේ ඔබටත් ඔබ වටා සිටින කිහිප දෙනෙකුටත් පමණි.

ඇති.. දැන් ඇති...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් කරුණාකර ඉවත් වන්න...