හේමසිරි හා පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරයට

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 19-11-2019 | 1:45 PM

COLOMBO ( News 1st ) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ, අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සෙසු සැකකරුවන් හා මෙම සැකකරුවන් දෙදෙනා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී නොමැති බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇති බවයි. පළමුවන සැකකරු වන හේමසිරි ප්‍රනාන්දු මහතා නමින් කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ගිණුම් පවත්වා ගෙන ගිය බවට අනාවරණය වී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. දෙවන සැකකරු වන පුජිත් ජයසුන්දර නමින් බැංකු ආයතන 05ක ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ ය. පසුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන කර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ය.