පාර්ලිමේන්තුවේ කටයුතු ගැන කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු ගැන කතානායකගෙන් නිවේදනයක්

by Staff writer 19-11-2019 | 2:15 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය ජයගෙන නව ජනාධිපතිතුමා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සෙසු පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සමග කතානායක කරූ ජයසුරිය මහතා සාකච්ඡා කර තිබේ.

කතානායක මාධ්‍ය අංශය පැවසුවේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව බොහෝ දෙනාගේ මතය වූ බවයි. ඒ අනුව විකල්ප ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව අවදානය යොමුව තිබේ. එනම්, 1. ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01වන දින පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැලසීම. 2. මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමු වීම. 3. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැලසීමයි. සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද එම ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව කතානායක මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ ය. ඒ, අනුව අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායකවරයාත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර කතානායකවරයා දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායකවරයා විසින් කැඳවනු ඇති.