නව ජනපතිට චීනයෙන් සහ ජපානයෙන් සුබ පැතුම්..!

නව ජනපතිට චීනයෙන් සහ ජපානයෙන් සුබ පැතුම්...!

by Staff writer 19-11-2019 | 6:37 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ නව නායකත්වය සහ ආණ්ඩුව සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෙන් ෂුවාන් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පළ කළ ඔහු, ශ්‍රී ලංකාවේ සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුට පළ කරන බව ප්‍රකාශ කළේ ය. ගෙන් ෂුවාන් මහතා වැඩිදුරටත් පැවසුවේ, දෙරටේ සබඳතාවල වැඩි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා පැහැදිලි ප්‍රතිලාභ ලබාදීමට චීනය සූදානම් බවයි. මේ අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බව ජපානය අවධාරණය කරයි. ඒ, ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොටිගී ඔෂිමිට්සු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සියලු පාර්ශවවල සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය හා ජාතික සංහිඳියාව අත්කර ගනු ඇතැයි ජපාන විදේශ අමාත්‍යවරයා අපේක්ෂාව පළ කරනු ඇති.