සේනා දළඹුවා යළිත් හිස ඔසවයි

සේනා දළඹුවා යළිත් හිස ඔසවයි

by Chathurika Jayasundara 18-11-2019 | 8:41 PM

COLOMBO ( News 1st ) - අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව පැතිර යන දළඹු වි‍ශේෂය සේනා දළඹුවා බවට තහවුරු වී තිබේ.

උතුරු මැද පළාත්‍ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගෞරී සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ, මෙම දළඹු උවදුර මර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලබුනෝරුව, සන්දනන්කුලම, කදුපාගම ඇතුළු ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව මෙම දළඹු උවදුර යළි ව්‍යාප්ත වී තිබේ. මෙම ගම්මානවල ගොවීන් මහා පරිමාණ ලෙස බඩ ඉරිඟු ගොවිතැනේ නිරත වෙන අතර ඔවුන් මීට පෙරද සේනා දළඹුවා හේතුවෙන් පීඩාවට පත්විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවකින් පළමුවරට හමු වූ සේනා දළඹු විශේෂය මාස තුනහාමාරක පමණ කාලයක් තුළ අම්පාර, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලට ද ව්‍යාප්ත විය. එවක බඩ ඉරිඟු වගා කළ හෙක්ටයාර 80,000ක් පමණ වන වගා බිම් වලින් 50% අධික ප්‍රමාණයක් එයට බිලිවූ අතර කෘෂිකර්ම බලධාරීන් වගා බිමි ගිනි තබා විනාශ කරන ලෙස උපදෙස් දෙමින් එම කන්නයෙන් සේනා දළඹු උවදුර මර්ධනය කිරීමට ක්‍රියා කළේ ය.