විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  74 වන උපන් දිනය සමරයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ 74 වන උපන් දිනය සමරයි

by Staff writer 18-11-2019 | 7:44 PM

COLOMBO ( News 1st ) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් අද අලුයම නාරාහේන්පිට අභායාරාමයේදී කිරි අම්මාවරුන් සඳහා දානමය පිංකමක් පැවැත්වුණි. අභයාරාම විහාර භූමියේ කිරි ඉතිරවීමෙන් අනතුරුව කිරි අම්මාවරු විහාරයට පැමිණියේ ය. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිය හ. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිරි අම්මාවරුන්ට දානය පූජා කළහ. දානමය පිංකම අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද විපක්ෂ නායකවරයා පිළිතුරු දුන්නේ ය. ප්‍රශ්නය -
මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් කොහොමද අග්‍රාමාත්‍ය ධූරයේ වැඩකටයුතු කරන්නේ?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර - මේ ආණ්ඩුවනේ තාම තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම තියනවා.අපි බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ හොදම වැඩේ ජනතා වරමට ඉඩ දෙන එක.මේ කැබිනට් එකෙන් භාගයක් දැන් අස්වෙලානේ. ඉතින් අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා. ප්‍රශ්නය -
මේ මැතිවරණය ගැන ඔබතුමා මොනවාද....?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර - 
ඉතාම සාධාරණ මැතිවරණයක් පැවැත්වුවා. අපි ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනි කොමිසමේ සියලු දෙනාටමත් ආරක්ෂාව සැලසූ සියලු දෙනාටමත්, මාධ්‍යටත්
ප්‍රශ්නය -
මේ මැතිවරණය යම් කිසි ආකාරයට ජාතීන් අතර බෙදීමකට සූදානමක් වෙලා තියනවා නේද?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
ඒ වගේ පේනවා නමුත් මම හිතන්නේ නැහැ ඒක ඒ විදිහට විය යුතුයි කියලා.
ප්‍රශ්නය -
පළාත් සභා මැතිවරණයක්ද ඉස්සරලා ඉල්ලන්නේ මහ මැතිවරණයක්ද, මොන මැතිවරණයක් ඉදිරියට එයිද?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
අපි බලමු ඉතින් ඒක. මම කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් එන එක නේද හොද මේ වෙලාවේ.
 ප්‍රශ්නය -
අපිට දැනුණා එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනෙක් ඔබතුමාලා සමග එකතුවන්න ක්‍රියා කරන අවස්ථාවක් ...?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
ඔව්
 ප්‍රශ්නය -
ඉදිරියේදී මැතිවරණයේදී හෝ ඔවුන්ට අවස්ථාවක් දීමට සූදානම්ද ඔබතුමාලා.?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
අපි ඒක බලනවා. ඒ තත්ත්වය බලලා සාකච්ඡා කරලා අවශ්‍ය විදිහට වැඩ කරනවා. අපි ජයග්‍රහණය කරන්නනේ අපි බලාපොරොත්තු වෙන්නේ.
ප්‍රශ්නය -
රට නැවත ගොඩනගන්න කොච්චර කල් යයි ද?
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
නෑ ඉතින් අපි පුලුවන් තරම් ඉක්මනින් වැඩ පටන්ගන්න ඕනි. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් වැඩ පටන්ගන්න බෑ මේ ආණ්ඩුව. මොකද ආණ්ඩු දෙකක්නේ. ජනාධිපතිවරයා එක පක්ෂයක අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය එක පක්ෂයක. ඉතින් මහජන මතයට ගරු කරලා එක පක්ෂයකට මේ අවස්ථාවේ ලබා දුන්නොත් තමයි හොද. එතකොට තමයි මේක යන්න පුළුවන් වෙන්නේ.
 ප්‍රශ්නය -
පහුගිය ආණ්ඩුවේ දූෂණවලට, වංචාවලට සිද්දවෙච්ච මැති ඇමතිවරුන්ට ක්‍රියා.
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර -
ඒවා ඔක්කොම අපි පරීක්ෂා කරන්න. නීත්‍යානුකූලව පරීක්ෂා කරන්න මේ කට්ටිය වගේ පහුගිය කාලේ වගේ දේශපාලන පලිගැනීම්වලට නෙමෙයි.
මාධ්‍යට අදහස් දැක්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා කේක් ගෙඩියක් කපා ජන්ම දිනය සැමරුවේය. අභයාරාම විහාරස්ථානයෙන් පිටතට පැමිණි විපක්ෂ නායකවරයා සිය ජන්ම දිනය නිමිත්තෙන් පක්ෂීන් කිහිප දෙනෙකු ද නිදහස් කළේ ය.