රුවන්වැලි සෑ රඳුන්ගේ කොත්වහන්සේට පළදවන චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට සැඳැහැවතුන්ට අවස්ථාව

by Staff writer 18-11-2019 | 5:48 PM

COLOMBO  ( News 1st ) - රුවන්වැලි සෑ රඳුන්ගේ කොත්වහන්සේට පළදවන නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට අද සිට සැඳැහැවතුන්ට අවස්ථාව උදාවේ.

එය අද උදෑසන 6.00 සිට ලබන 20 වැනිදා දක්වා තැන්පත් කර තැබෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේ ය. නව චූඩා මාණික්‍යය ලබන 25 වැනි දා රූවන්වැලි සෑ රඳුන්ගේ කොත්වහන්සේට පළදවනු ඇති. අප වාර්තාකරු සඳහන් කළේ, අද උදෑසන 6.00 සිට බැතිමතුන් චූඩා මාණික්‍යය දැක බලාගැනීමට සහ වන්දනා කිරීමට පැමිණි බවයි. මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කරන්නේ විශ්වපාරමී පදනමයි. නොවැම්බර් 21 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට මහා පුද පෙරහැර මධ්‍යයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල, පොතුහැර, නගර ඔස්සේ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට වැඩම කරලීමට නියමිත ය. නොවැම්බර් 22 උදෑසන 6.00 සිට දහවල් 12 දක්වා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පුදසත්කාර කිරීමෙන් අනතුරුව මහා පුද පෙරහැර මධ්‍යයේ අනුරාධපුරයට වැඩම කරලීමට නියමිතයි. ඉන් අනතුරුව කුරුණෑගල, වාරියපොල, පාදෙණිය, දළදාගම, අඹන්පොල, ගල්ගමුව, තඹුත්තේගම, තලාව යන නගර පසුකරමින් අනුරාධපුරයට පැමිණීමට සැළසුම් කර තිබේ. විශ්වපාරමී පදනම සඳහන් කළේ, නොවැම්බර් 23, 24, 25 අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවෙහි මනරම් මණ්ඩපයක තැන්පත්කර සැඳැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇති බවයි. නොවැම්බර් 25 වන දින රන් පාදම සහිත චූඩා මාණික්‍යය මහා සෑ රජුන් මත පැළදවීමේ මහා පුණ්‍යෝත්සවය පවත්වන අතර නොවැම්බර් 26 කොත්වහන්සේ නිරාවරණය කිරීමේ මහා පුණ්‍යෝත්සවය පැවැත් වේ.