අභිනව ජනපතිගේ ධජය හඳුන්වා දෙයි

නව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ධජය හඳුන්වා දෙයි

by Staff writer 18-11-2019 | 7:55 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධජය අද හඳුන්වා දුන්නේ ය. 

මෙම ධජයේ ප්‍රධාන තේමාව ලෙස සුදු නෙළුම භාවිත කර ඇති අතර එයින් නිරූපණය වන්නේ පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනයයි. සුදු නෙළුමේ නාභියෙහි ඇති කලංකයේ සිට සිව් දෙසට විහිදෙන සූත්‍රිකාවලින් කීර්තිය සහ යසස පැතිරෙන අයුරු නිරූපණය වේ. මල වටා ඇති සුදු සහ කහ රවුම්වලින් පාලකයා සතු ප්‍රඥාව හා සත්‍යවාදී බව නිරූපනය වන අතර සිව් කොණේ ඇති බෝපත් බෞද්ධාගම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාසය නිරූපණය කරයි. ඊට අමතරව සතුටින් සිටීමට අවශ්‍ය කරුණු වන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවතා ද බෝපත් වලින් නිරූපිත ය. ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාර ධජයේ සිව් කොණෙහි ඇති නාමල් සතරින් පෙන්නුම් කෙරේ. නාමලේ තැඹිලි සහ කොළ පැහැයෙන් නිරූපනය වන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාවයි. ධජයේ ප්‍රධාන වර්ණය ලෙස තද දුඹුරු වර්ණය යොදාගෙන ඇති අතර එක සමාන පළලකින් යුත් සුදු පටිය සියලු අතින් සලසන ආරක්ෂාව නිරූපනය වේ. ජාතීන් අතර පවත්නා එකමුතුකම සාමය හා අන්‍යෝන්‍ය අවබෝධය නිරූපණය වන්නේ එක සමනා පළලින් යුත් කහ පටියෙන් ය.