සිරස TV විකාශය සමබරයි-විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්

ජනපතිවරණයේදී මාධ්‍ය භාවිතය තුළ සිරස TV විකාශය සමබරයි - යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්

by Staff writer 18-11-2019 | 10:20 PM

COLOMBO ( News 1st ) - නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ශ්‍රී ලංකා සහ ආසියානු ජාලයේ හා යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් ද්විත්වයේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ ඇගයීම් ප්‍රතිපළ අද නිකුත් කළේ ය.

වාර්තා ද්විත්වයේම ප්‍රධාන වශයෙන් ඉස්මතු කර ති‍බු‍ණේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳවයි. විශාල වශයෙන් සාමකාමී හා විධිමත් මැතිවරණයක් පැවැත්වීම පිළිබද ඇන්ෆ්‍රෙල් සංවිධානය ලාංකීය ජනතාව පැසසුමට ලක් කර තිබුණි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ අව්‍යාජ, ප්‍රජාතන්ත්‍රවාදී හා පරිණත දේශපාලන ක්‍රියාදාමයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රට තුළ ඇති කැපවීම පිළිබඳ පැහැදිලි වූයේ 83.6% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීමත් සමග බවයි. රටවල්වල මැතිවරණ ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා විවිධ පාර්ශවකරුවන්ගේ අවධානය යොමු කළ යුතු කරුණු සහ ඒ කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද එම වාර්තාව අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඇන්ෆ්‍රෙල් මෙහෙයුම් ප්‍රධානී අදහස් දැක්වුවේ ය. ඇන්ෆ්‍රෙල් සංවිධානායේ මෙහෙයුම් ප්‍රධානී ද මාසෝ මැග්බුවාන් 
පළමුවෙන් ම ඔවුන් පවසන පරිදි පරිපූර්ණ මැතිවරණයක් කියලා දෙයක් තිබ්බේ නෑ. බොහෝ විට හොඳම මැතිවරණයක වුණත් යම් යම් අඩුපාඩු තිබෙනවා. මීට වසර 10 කට පෙර පැවති මාධ්‍යය නිදහසට සාපේක්ෂව බැලුවාම දැන් තිබෙන මාධ්‍ය නිදහස වඩාත් පුළුල් වී ඇති බව අපි හැමෝම පිළිගන්නවා. එහෙත් ඒ අතරම අපේක්ෂකයින්, ඡන්දදායකයින් සහ නිරීක්ෂකයින් අතර ඇති මතය නම්, බොහෝ අවස්ථාවලදී, මාධ්‍ය ඉතාමත් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවයි. ඒ අතර පෞද්ගලික මාධ්‍ය විශේෂයි.
මේ අතර යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම නිගමනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය බොහෝ දුරට ප්‍රචණ්ඩත්වයෙන් තොරබවත් තාක්‍ෂණිකව මනා ලෙස කළමනාකරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය නිරීක්ෂණය කිරීමට තමන්ට ආරාධනා කර තිබූ බවත් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ මූලධර්ම ප්‍රකාශනයට අනුකූලව එහි කටයුතු සිදු කළ බවත් යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. යුරෝපා සංගමය නිකුත් කරනු ලැබූ වාර්තාවේ 12 වන පිටුවෙහි තවදුරටත් දැක්වෙන්නේ, සිරස ටීවී ඔස්සේ ප්‍රේක්ෂකයින්‍ට වඩාත් සමබර ආවරණයක් ලබා දුන් බවයි. ඒ පිළිවෙලින් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට 41% සහ 38% වශයෙන් ය. මේ අතර අනෙකුත් අපේක්ෂකයින්ට ද සමබර ආවරණයක් ලබාදී ඇති බවට ද එම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.