19 සමාලෝචනය කරනවා - මහින්ද රාජපක්ෂ

19 වන සංශෝධනය සමාලෝචනය කරන බවට මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

by Staff writer 17-11-2019 | 7:54 PM

COLOMBO (News 1st) - නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය ගැන සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය. ජයග්‍රහණය සාමකාමීව අනුන්ට කිසිදු කරදරයක් නොවන ආකාරයට භුක්ති විඳින මෙන් මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ. රාජපක්ෂ මහතා පවසන්නේ, 19 වන සංශෝධනයෙන් ඇතිකර තිබෙන ව්‍යාකූල තත්ත්වය නිසා මීට පෙර පැවති සියලු ජනාධිපතිවරණවලට වඩා මෙවර ජනාධිපතිවරණය බෙහෙවින් වෙනස් එකක් වූ බවයි. ඒ අනුව 19 යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යාම විපක්ෂ නායකවරයාගේ අපේක්ෂාවයි. ඔහු සිය නිවේදනයේ සඳහන් කරන්නේ, අවුරුදු 5 ක් මුළුල්ලේ අයාලේ ගිය රට යළි හරිමගට ගැනීමට අවස්ථාව උදාවී ඇති බවයි. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩ නැගීමට මෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කරන්නේ, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි. ප්‍රකාශවී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.