නව ජනපතිට ලෝක නායකයින් රැසකගෙන් සුබ පැතුම්

නව ජනාධිපතිතුමාට ලෝක නායකයින් රැසකගෙන් සුබ පැතුම්

by Staff writer 17-11-2019 | 7:15 PM

COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සුබ පැතුම් පිරිනමා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ, කලාපීය ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු බවයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ට්විටර් පණිවුඩයකින් සුබ පැතුම් පිරිනමමිනි. සාර්ථක මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් පිරිනමන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඔහු සඳහන් කළේ, ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවුසවේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට පැහැදිලි දැක්මක් ඇති බවයි. මෙම ජයග්‍රහණය ඉන්දියාවට යහපත් වනු ඇති බව ද සුබ්‍රමනියම් ස්වාමි මහතා වැඩිදුරටත් පැවසීය. මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සබඳතා තව ත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ, තේරීපත්වූ ජනාධිපතිවරයාට ට්විටර් පණිවුඩයකින් සුබ පතමිනි. මේ අතර මාලදිවයන් හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබේ. ඔහු පවසන්නේ, දෙරට අතර පවතින සබඳකම් තවත් ශක්තිමත් කර ගනිමින් සමෘද්ධිමත් සමාජයක් ඇති කිරීම සඳහා එක් ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.