නව ජනපති දිවුරුම්දීම හෙට අනුරාධපුරයේදී

නව ජනපති දිවුරුම්දීම හෙට අනුරාධපුරයේදී

by Staff writer 17-11-2019 | 6:45 PM
COLOMBO (News 1st) : තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ, අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේදී දිවුරුම්දීමට නියමිතව තිබේ. 2019 ජනාධිපතිවරණයෙන් ජය හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගනු ලැබූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ නිවේදනය කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යා හැටනව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස් පහක් වන අතර එය 52.25% ක ඡන්ද ප්‍රතිශතයකි. සජිත් ප්‍රේමදාස මහතා 41.99% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේ ඡන්ද පනස්පන් ලක්ෂ හැට හතර දහස් දෙසීය තිස් නවයක් ලබා ගනිමිනි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද හාරලක්ෂ දහඅට දහස් පන්සීය පනස් තුනක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අතර එම ප්‍රතිශතය 3.16%කි. මහේෂ් සේනානායක මහතා ඡන්ද හතළිස් නව දහස් හයසීය පනස් පහක්  ලබාගත්තේ ය. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඡන්ද  තිස් අට දහස් අටසීය දාහතරක්ක් ලබාගත් අතර රාජාලියා ලකුණින් තරග කළ ආරියවංශ දිසානායක මහතා ඡන්ද තිස්හතර දහස් පන්සීය තිස් හතක් ලබාගත්හ. අජන්තා පෙරේරා මහත්මිය ඡන්ද විසි හත් දහස් පන්සීය හැත්තෑ ‍දෙකක්  ලබාගත් අතර රොහාන් පල්ලේවත්ත මහතා ඡන්ද විසි පන් දහස් එකසීය හැත්තෑ තුනක් ලබාගත්හ. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු තරග කළ අතර ඡන්ද මධ්‍යස්ථාන 12,845 ඡන්ද විමසීම නිදහස් , සාධාරණ හා සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මෙවර ජානධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව එක්කෝටි තිස්තුන් ලක්ෂ අසූහත් දහස් නවසීය පනස් එකකි. ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 83 .72 %කි. ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂ පනස් දෙදෙහස් හරසීය අනූනවයක් වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ප්‍රකාශිත ඡන්දවලින් එක්ලක්ෂ තිස්පන්දහස් හාරසිය පනස් දෙකක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ඡන්ද හැටනවලක්ෂ විසිහතර දහස් දෙසිය පනස් පහක් ලබා ගනිමිනි. එය 52.25% ක ඡන්ද ප්‍රතිශතයකි. සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ඡන්ද පනස්පන් ලක්ෂ හැටහතර දහස් දෙසිය තිස්නමයක් හිමිකර ගනිමිනි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් යාපනය , වන්නි , දිගාමඩුල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්ක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ ය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහු ඡන්ද හත්ලක්ෂ විසිහත්දහස් හත්සිය දහතුනක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබූ ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ පනස් නවදහස් නවසීය විසි එකකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද අටලක්ෂ තිස්නවදහස් නවසීය අනූ හතරක් ලැබූ අතර සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සීය හැට අටකි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හයලක්ෂ පනස් දෙදහස් දෙසීය හැත්තෑ අටක් ලැබූ අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද හාරලක්ෂ දහසය දහස් නවසීය හැට එකක් ලබාගත්තේ ය.