"ජනතා තීරණයට ගරු කරනවා" - සජිත් ප්‍රේමදාස

"දැඩි සටනක් හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයක් අවසානයේ ජනතා තීරණයට ගරු කරනවා" - සජිත් ප්‍රේමදාස

by Staff writer 17-11-2019 | 9:32 PM

COLOMBO (News 1st) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු එමගින් දැනුම් දුන්නේ, දැඩි සටනක් හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයක් අවසානයේ ජනතා තීරණයට ගරු කරන බවයි. ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතා තිබේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනය කළේ, ඡන්ද දායකයින්ගේ තීරණයට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. ඉදිරි සතිවලදී ජනාධිපතිවරණ කටයුතුවලට සහය දුන් සියලු දෙනා දේශපාලන ගමනේ තමා වෙනුවෙන් පෙනී සිටි ජනතාව සහ තම ආදරණීයයන් සමග සාකච්ඡා කර දේශපාලන ජීවිතයේ අනාගතය සහ තම ජීවිතය ගෙන යන්නේ කොතැනටද යන්න මෙනෙහි කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය. සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව සමග බැඳී සිටින තමා අදත් සෑම විටම ඔවුන්ගේ විශ්වාසවන්ත සේවකයා ලෙස සිටින බවයි. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම තමාට ඡන්දය දුන් පුරවැසියන්ට හෘදයාංගම කෘතඥතාව පළ කළ ඔහු තමා කෙරෙහි විශ්වාසය තැබීම නිහතමානීව පිළිගන්නා බව ජනතාවට දැනුම් දෙයි. අවුරුදු 26 ක දේශපාලන ජීවිතය තුළ ජනතාවගේ සහයෝගය ශක්තියේ උල්පතක් වී ඇති බව ඔහුගේ විශ්වාසයයි. සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ සියලු දෙනාට කෘතඥතාව පළ කරන සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ ජනතාව කළ කැපවීම තමාට මෙන්ම පවුලේ අයටද කිසිදා අමතක නොවනු ඇති බවයි. ස්වාධීන ජනරජයේ වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණය මෙවර පැවැත්වුණු බවත්, එය පසුගිය වසර 5 තුළ සිදුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් බවත් ඔහුගේ අදහස වී තිබේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් සාමකාමීව තේරී පත්වීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාරධර්ම ශක්තිමත් කර ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි. පශ්චාත් මැතිවරණ පරිසරයේ සාමකාමී බව සහතික කරන ලෙසත් තමාගේ අපේක්ෂකත්වයට සහය දැක්වීම නිසා කිසිදු පුරවැසියෙකුට හෝ පක්ෂ ආධාරකරුවෙකුට හිංසා, පීඩා හෝ හානියක් සිදු නොවන ආකාරයට වග බලාගන්නා ලෙසත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි. 2025 වන විට නිවාස හිමි සමාජයක් බිහි කිරීමට ප්‍රමුඛත්වය දෙමින් වසර 5 ක් මෙම රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස සේවය කිරීමට ලැබීම භාග්‍යයක් බව පවසන ඔහු සඳහන් කළේ, එය සෙසු පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවීමේ අවංක, හෘදයාංගම උත්සාහයක් යැයි ජනතාව තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.