පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 16-11-2019 | 7:20 PM
COLOMBO (News 1st) : 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇති අතර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා මධ්‍යස්ථාන 12,845 කදී පැවැත්වූ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන් විය. මැතිවරණ කොමිසම පැවසුවේ, මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කර ඇති පිරිස 80% කට ආසන්න බවයි. ඡන්ද විමසීම සාමකාමීව පැවති බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසී ය. අද පෙරවරු 7 ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව , 159 92,096 කි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ප්‍රතිශතය 75% ඉක්මවන බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සුනිල් කංනන්ගර මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, දහසය ලක්ෂ හැත්තෑ දහස් හාරසිය තුන්දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවයි. මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව දාහත් ලක්ෂ පනස් එක් දහස් අටසිය අනූදෙකකි. ගම්පහ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සුනිල් ජයලත් මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ 82% ක් ඡන්දය ප්‍රකාශ කළ බවයි. ඡන්ද දායකයින් නවලක්ෂ පනස් පන්දහස් හැත්තෑ නව දෙනෙක් මෙවර කළුතර දිස්ත්‍රිකක්යෙන් ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා සිටියහ. දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75% ඉක්මවන බව කළුතර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී යු. ඩි. සි. ජයලාල් මහතා ප්‍රකාශ කළේ ය. මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලොස් ලක්ෂ එකොලොස් දහස් අටසීය හැට දෙනෙකු දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබාසිටි අතර 80% ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පැවසී ය. මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු පිරිස හාරලක්ෂ ,එක්දහස් හාරසීය අනූහයකි. ඉන් 75% පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී එස්.එම්.ජි.කේ පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය ප්‍රකාශ  කිරීමට සුදුසුකම් ලැබු පිරිස පන්ලක්ෂ හැටනවදහස් විසි අටකි. ඉන් 80% ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසී ය. අටලක්ෂ පනස් අට දහස් හත්සිය හතලිස් නවදෙනෙක් මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති පිරිස 80% කි. මාතර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික්කයේ හයලක්ෂ පනස් දෙදහස් හාරසිය දාහත්දෙනෙකු අතරින් 80% ක පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කර ඇති බවයි. හම්බන්තොට දිස්ත්‍රිකක්යෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු පිරිස හාරලක්ෂ අසුපන්දහස් හත්සිය අසුහයකි. හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ඉන් 80% ක් ඡන්දය භාවිත කර ඇති බවයි. පන් ලක්ෂ හැටහතර දහස් හත්සිය දහ හතර දෙනෙක් මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. යාපනය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී නාගලිංගම් වේදනායගම් මහතා පැවසුවේ ඉන් 66.5% ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. යාපනයට මැතිවරණ දිස්ත්‍රික්කයටම අයත් වන කිලිනොච්චි දිස්ත්‍රිකක්යේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 73% කි. වන්නි දිස්ත්‍රික්කයේ දෙලක්ෂ අසුදෙදහස් එකසිය දහනව දෙනෙක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ඊට අයත් වවුනියාව දිස්ත්‍රකික්කයේ 75% ක්ද , මුලතිව් දිස්ත්‍රික්කයේ 76.2 %ක් ද මන්නාරම දිස්ත්‍රික්කයේ 71% ක් ද ඡන්දය ප්‍රකාශ කර තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ අනුඅටදහස් තුන්සිය එකක් මෙවර ඡන්දයට සුදුසුකම් ලැබු අතර ඉන් 75% ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ජනධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු පිරිස පන්ලක්ෂ තුන්දහස් හත්සිය අනුවකි. ඒ අතරින් 80% ක් ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී ඩි. එම්. එස් .බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 83% කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මහතා පැවසුවේ මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට දෙලක්ෂ අසුඑක්දහස් එකසිය දහ හතර දෙනෙකු සුදුසුකම් ලැබූ බවයි. ඡන්ද දායකයින් දහතුන් ලක්ෂ තිස්එක්දහස් හත්සිය පස්දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටියහ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75% කි. එම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු පිරිස පන්ලක්ෂ අනූනව දහස් හතලිස් දෙදෙනෙකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ 75% ක් ලෙසයි. දිස්ත්‍රික්කයේ හයලක්ෂ අසුදෙදහස් හාරසිය පනස් දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරිමට සුදුසුකම් ලැබු බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී ආර්.එම් වන්නිනායක මහතා පැවසී ය. පොලොන්නරුව දිස්ත්‍රිකක්යේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 80.2% කි දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී පණ්ඩුක අබේවර්ධන මහතා පැවසුවේ තුන්ලක්ෂ විසිහය දහස් හාරසිය හතළිස් තුන්දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් හයලක්ෂ පනස් හත් දහස් හත්සිය හැට හය දෙනා අතරින් 80% ක් මෙවර ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය පැවසී ය. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් තුන්ලක්ෂ හැටහයදහස් පන්සිය විසිහතර දෙනෙකු අතරින් මෙවර ඡන්දය භාවිත කර ඇති පිරිස 80 %කි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අටලක්ෂ හැටහතර දහස් නවසිය හැත්තෑ අටදෙනෙකු අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති පිරිස 84 % ඉක්මවන බවද දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කළා ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75 %කි. දිස්ත්‍රික්කයේ හයලක්ෂ හැත්තෑ හයදහස් හාරසිය හතලිස් දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසී ය.