ජනපති මහ නාහිමිවරුන් බැහැදකී

ජනපති මහ නාහිමිවරුන් බැහැදකී

by Staff writer 16-11-2019 | 9:48 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණියේ ය. අද පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවේ ය. නේපාලයේ ලුම්බිණි නුවර රූපා දේවී දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකාරාම විහාරය ශාසනික පූජාවක් ලෙස මල්වතු පාර්ශ්වයට පිරිනැමීමේ සන්නස් පත්‍රය මහනාහිමියන්ට පිළිගැන්විය. පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේ ය. අද පෙරවරුවේ ජනාධිපතිවරයා පොළොන්නරුවේ ඉදි වෙමින් පවතින ජාතික වෘක්කවේද රෝහල නිරීක්ෂණය කළේ ය. ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතියක් වන පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේ ද රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස හැඳින්වේ. මෙය ශ්‍රී ලංකාවට හිමිවුණේ ජනාධිපතිවරයා 2015 මාර්තු මාසයේ චීනයේ කළ සංචාරයේදී එරට ජනාධිපති ෂී ජින් පින් මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඇඳන් 204 ක්, රුධිර කාන්දු යන්ත්‍ර සියයක්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළුව ලොව නවීණතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12 කි. එහි ඉදි කිරීම්වලින් 70% පමණ නිම කර ඇති අතර 2020 ජූලි මාසය වන විට විඑය ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරෙයි. මෙම සේවාව අගයමින් ජනාධිපතිවරයා වෙත විශේෂ උපහාර තිළිණයක් ද පිළිගැන්විණ.