සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය අසත්‍යයක් - පොලීසිය

සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය අසත්‍යයක් - පොලීසිය

by Staff writer 15-11-2019 | 4:14 PM
COLOMBO (News 1st) : 2019 නොවැම්බර් 5 වනදා රාජ්‍ය බුද්ධි සේවය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව යන ශිර්ෂය යටතේ සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියේ අඩංගු කරුණු මූලිකවම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවය ද ඇතුළුව පොලීසියේ කිසිදු ආයතනයක් ස්වාධීන ආයතන ලෙස, එම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවීමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදු කර නොමැති බවයි. පොලීසියේ පූර්ණ අවධානය යොමුවන්නේ ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්වීම උදෙසා ආරක්ෂිත වාතාවරණයක් සැලසීම බව ද එම නිවේදනයේ දැක්වේ. එහි සඳහන් වන්නේ එය පොලීසියේ ප්‍රමුඛ කටයුත්තක් බවයි. මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ තැනැත්තන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය .